Post Thumb

ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර සිදුවූ බව කියන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දියානු ජාතිකයන් 08 දෙනා අද (04) දින කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයා කියා සිටියේ මෙම ඉන්දියානුවන් 08 දෙනාගෙන් 06 දෙනෙකුගේ වකුගඩු ඉවත් කර ඇති බවයි. එහෙත් එය මුදලට විකුණා නොමැති බවත් එය පරිත්‍යාග කිරීමක් පමණක් බවත් අදාළ නීතීඥයා කියා සිටියා. අදාළ වකුගඩු ප‍්‍රධානයන් සිදු කර ඇත්තේ ශ‍්‍රී ලංකාවේ පවතින නීති රීතීන්වලටද අනුවයි. සෑම වකුගඩු පරිත්‍යාගයකටම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇති බවද නීතීඥවරයා කියා සිටියා.

වකුගඩු පරිත්‍යාග කිරීමේ සැත්කම් සියල්ල මෙරට ප‍්‍රධාන පෙලේ පෞද්ගලික රෝහල්වලදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි සිදුවී තිබෙනවා. පසුගිය වසර 03 ක පමණ කාලයකදී ඉන්දියානු ජාතිකයන් මෙවැනි සැත්කම් 1200 ක් පමණ සිදු කරමින් සිය වකුගඩු ප‍්‍රදානය කර ඇති බව නීතීඥවරයා අධිකරණය හමුවේ ප‍්‍රකාශ කළා. කෙසේවෙතත් මෙම අවස්ථාවේ අධිකරණය හමුවේ කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ප‍්‍රකාශ කළේ මෙම ක‍්‍රියාවලියේදී අතරමැදියන් පිරිසක් මුදල් උපයා ගැනීමක් සිදු කර ඇති බවයි. ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ෂණය කිරීම් සිදු කරනවා. අත්අඩංගුවට ගෙන සිටින ඉන්දියානුවන් සතුව තිබී විවිධ ලේඛණ 280 ක් පමණ සහ රබර් මුද්‍රා විශාල ප‍්‍රමාණයක්ද සොයා ගැනුණා. එම නිසා සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර යුතු බවයි කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් ඉල්ලා සිටියේ. එම ඉල්ලීම පිළිගත් ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ලබන 18 වනදා දක්වා සැකකරුවන්  යළි රක්ෂිත බන්ධනාගාර ගත කළා.

  • Views 151