Post Thumb

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය පුරාම සැහැල්ලුවෙන් හා සිනාමුසු මුහුණින් සිටියත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ අළු යට ගිනි පුපුරු ඊයේ එකවරම පුපුරා ගියා. විස්සයි විස්ස ලෝක කුසලානයද එක අතකින් ගෙන කොදෙව් කණ්ඩායමේ නායකයා වූ ඩැරන් සාමි  ලෝකයටම ඇහෙන්න මේ කතාව ඊයේ කොල්කටා ඊඩන්ඩාගන් ක්‍රීඩාංගනයේදී කිව්වා. ඒ කතාව පහතින් දැක්වෙයි..

“මුලින්ම මම දෙවියන්ට ස්තූතිවන්ත වෙනවා. ඇත්තටම මිනිස්සු පුදුම වුණා අපි මේ තරඟාවලිය සෙල්ලම් කරනවා දැක්කම. මොකද අපේ කණ්ඩායමට ඒ තරම් විශාල ප්‍රශ්න ගොඩක් තිබුණා. අපිට කවුරුත් අවස්ථාවක් දුන්නෙ නැහැ. ඒත් එක එක්කෙනා කණ්ඩායමේ වගකීම අවස්ථානුකූලව කරට ගත්තා. අපේ ක්‍රිකට් පාලක මණ්ඩලය කණ්ඩායමත් සමග දැඩි අර්බුධයක් තියෙනවා. ඔවුන් කියනවා අපේ කණ්ඩායමේ 15 දෙනාගෙ මොලේ නැහැ කියලා. ඔවුන් වරින් වර අපේ කොල්ලන්ගෙ මානසිකත්වය බිඳ දැම්මා. ඒ වගේ දේවල් එක්ක කණ්ඩායම සෙල්ලම් කරපු එකට මම ස්තූතිවන්ත වෙනවා. අපේ පුහුණුකරු ඇතුළු කාර්යමණ්ඩලයටත් මම ස්තූතිවන්ත වෙනවා. අපි ඉන්දියාවට එනකොටත් අපිට අඳින්න ඇඳුම් සූදානම් කරලා තිබුණෙ නැහැ. අපේ අලුත් කළමණාකරු තමයි මේ සියල්ල අපි වෙනුවෙන් ලෑස්ති කරලා දුන්නෙ. ඔහු කොල්කටාවලින් ඒ ඇඳුම් ප්‍රින්ට් කරගෙන ආවා. ඒ වගේම මොන අර්බුධ තිබුණත් කොදෙව් රටේ ඉඳන් අපිට ඊ-මේල් එවලා කෝල් කරලා අපිව දිරිමත් කරපු හැමෝටම ස්තූතියි. හැබැයි එහෙම මේල් එකක් අපේ ක්‍රිකට් බෝඩ් එකෙන්වත් අපිට ලැබුණෙ නැහැ. දැන් මම අපේ කොල්ලො ටිකත් එක්ක මේ ජයග්‍රහණය සමරන්න යනවා. සමහර විට මම ආයේ මේ කොල්ලො එක්ක ආයේ සෙල්ලම් කරන එකක් නැහැ. මොකද අපිව එක්දින තරඟවලට අපේ තේරිම් කමිටුව තෝරලා නැහැ. කොහොම වුණත් මේ ජයග්‍රහණය අපේ කොල්ලො වෙනුවෙන්..අපේ පුහුණුකරු වෙනුවෙන්..දැන් හැමෝම දන්නවා කොදෙව්වො තමයි ලෝක ශූරයෝ කියලා.”

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ක‍්‍රිකට් පාලක මණ්ඩලය සමග ඇති ගැටුම මෙතෙක් අවසන් වී නැහැ. මෙම ගැටුම හටගෙන තිබුණේ ක‍්‍රීඩකයින්ට ලබාදෙන ගාස්තු මුල්කර ගනිමින්.  අර්බුදය උග‍්‍ර වී තිබූ අවස්ථාවේ කොදෙව් ක‍්‍රිකට් පාලක මණ්ඩලය වරෙක තීරණය කර තිබුණේ වෙනත් කණ්ඩායමක් මෙම තරගාවලියට යොමු කිරීමටයි. බටහිර ඉන්දීය කොදෙව් නායක ඩැරන් සාමිගේ මෙම ප්‍රකාශයෙන් පසුව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ ඊට නිලධාරීන් දක්වන ප්‍රතිචාර පිළිබඳවයි.

  • Views 168