Post Thumb

ජී -7 සමුළුවට සහභාගීවීම සඳහා ජපානයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජපානයේ නගෝයාහිදී ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විඩෝඩො මහතා සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවක නිරත වී තිබේ.


එහිදී එම සමුළුවට සහභාගී වූ රාජ්‍ය නායකයින් අතර ඉතා සුහදශීලි මට්ටමින් පැවති සාකච්ඡාවේ දී දෙරට අතර ආර්ථික හා වෙළෙඳ කටයුතු ආදී කරුණු රැසක් පිළිබඳ අවධානය යොමුවු බව  ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ඒ අනුව ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර සංඛ්‍යාව ඉහළ නැංවීම කෙරෙහි එකඟතාවක් පළවී ඇතිබව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට රබර් සඳහා හොඳ මිලක් ලබාදීම සම්බන්ධයෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් පොදු එකඟතාවකින් කටයුතු කිරීම පිළිබඳව ද තීරණය වී ඇත.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජපාන විදේශ වෙළෙඳ සංවිධානයේ සභාපති හිරෝයුකී ඉෂිගේ මහතා සහ ඔනොමිචි ඩොක්යාඩ් ආයතනයේ සභාපති ටකාෂි නකාබේ මහතා සමගද ඊයේ පස්වරුවේ සාකච්ඡාවක නිරත විය.

තෙල් සහ ගෑස් කර්මාන්තය සඳහාත් පොල් සහ වෙනත් වැවිලි කර්මාන්ත සඳහාත් මෙරට තුළ ආයෝජනය ඉහළ නැංවීම පිළිබඳ එම සාකච්ඡාවල දී අවධානය යොමුවී ඇත.

මෙම ජී-7 සමුළුවේ දෙවන දිනය අද පැවැත්වේ.

  • Views 158