දිලිසෙන දීප්තිමත් අයස්කාන්ත ඇස් දෙකක්. නමුත් ඒ ඇස් දෙක ඇස්පිය හෙළුවේ නැත. ඒ ඇස් දෙක දුටුවේ මාර්ටින් ලූක්ඞ් ක්ලෝසර්ය. ඒ පුංචි ඇස් දෙක අයිති පුංචි දරුවාගේ ඇග රන්පැහැයෙන් බැබළුණි. ඔහුගේ සිගිති දෑත් යොමුව තිබුණේ අහස දෙසටයි. ලිබියා - ඉතාලි මුහුදු සීමාවේදී මාර්ටින් ඇතුළු සගයින් මේ පුංචි දරුවා සොයා ගනිද්දි පුංචි සිගිත්තා සිටියේ මොලොව අතහැර ගොසිනි. 

මාර්ටින් ලූක්ඞ් ක්ලෝසර් ජර්මානු ජාතික ගැලවීමේ සේවකයෙක් වේ. ඔහු මේ දරුවා සොය ගත්තේ පසුගිය සිකුරාදායි. ලිබියා - ඉතාලි මුහුදේදී දියේ ගිලී මිය ගිය 25 දෙනෙකු තමන් සොයා ගත් බව මාර්ටින් පසුගිය අගහරුවාදා  ඊමේල් පණිවිඩයකින් කියා සිටියේය. අයස්කාන්ත ඇස් ඇති පුංචි සිගිත්තා සිටියෙත් ඒ පිරිස අතරේය. පැය හයකට කලින් පැමිණියා නම් පුංචි සිගිත්තා බේරා ගැනීමට තිබුණු බවද මාර්ටින් ඇඩූ කදුළින් පැවැසීය. 

මේ වනවිට විශාල පිරිසක් ලිබියානු කලාපයේ සිට යුරෝපයට සංක‍්‍රමණය වෙමින් සිටිති. මේ අනවසර සංක‍්‍රමණිකයින් විශාල පිරිසක් පැමිණෙන්නේ කුඩා බෝට්ටුවලින් වීම විශේෂත්වයයි. මහ මුහුදේ රළ දරුණු රළ පහරට හසුවන මේ බෝට්ටු බොහොමයක් මහමුහුදේම පෙරළි යයි. මාර්ටින් සොයා ගත් පුංචි සිගිත්තා සිටි බෝට්ටුවෙත් සංක‍්‍රමණිකයින් දෙසීයකට අධික ප‍්‍රමාණයක් සිට තිබේ. බෝට්ටුව පෙරළී යාමෙන් එහි 45දෙනකු මිග ගිය අතර 135දෙනක් ජිවිත බේරා ගත්හ. තවත් පිරිසක් අතුරුදන් විණ. මෙලෙස මධ්‍යධරණී මුහුදේදී මියගිය සංක‍්‍රමණික සංඛ්‍යාව දහස ඉක්මවන බවද විදෙස් වාර්තාවල දැක්වේ.

  • Views 113