Post Thumb

කොස්ගම සාලාව යුධ හමුදා කඳවුරේ ඇතිවූ ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා ඇති බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ක‍්‍රිෂාන්ත ද සිල්වා මහතා පවසයි.  

මෙම ගින්නෙන් විසිරී ගොස් ඇති කැබලී ඇල්ලීමෙන් වළකින ලෙස ආරක්ෂක අංශ සාමාන්‍ය ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටී.

කෙසේ වෙතත් අවි ආයුධ කොටස් පුපුරායාම සහ ගින්න වර්ධනය වීම හේතුවෙන් අවිස්සාවේල්ල, කොළඹ මාර්ගයේ රථ වාහන ධාවනය තාවකාලිකව නවතා තිබේ.

ඒ අනුව අවිස්සාවේල්ල දෙස සිට එන රථ වාහන කොස්ගම දක්වාත් කොළඹ සිට පැමිණෙන රථ වාහන හංවැල්ල නගරය දක්වා පමණක් සීමා කිරීමට ආරක්ෂ අංශ පියවර ගෙන ඇත.

මෙම තත්ත්වය හේතුවෙන් අවට ප්‍රදේශවලින් ඉවත් කෙරුණු ජනතාව මේ වන විටත් ප්‍රදේශයේ රෝහල් සහ වෙනත් ස්ථානවල රැදී සිටිනු ඇත.


අදාළ ගින්න හේතුවෙන් එක් යුධ හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තුවාල ලැබූ තවත් සෙබලෙකු ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් තුවාලකරුගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

හමුදා කඳවුර තුළින් තවමත් පිපිරීම් ශබ්ද ඇසෙන බැවින් ඊට ළඟාවීම අපහසු බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේම හමුදා සෙබලුන් කණ්ඩායමක් හමුදා කඳවුර තුළට ඇතුල් වුවද එහි කිසිදු පරීක්ෂණ කටයුත්තක් සිදු කිරීමට හැකියාව නොපවතින බව යුධ හමුදාව සඳහන් කළේය.

මේ අතර ගින්නෙන් තුවාල ලබා හෝ අනතුරට පත්ව පැමිණෙන රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා අවට සියළු රෝහල් සුදානම් කර පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

ඒ අනුව අවිස්සාවේල්ල මූලික රෝහලට අතිරේක ගිලන් රථ 18ක් යොදාවා ඇති අතර කරවනැල්ල මූලික රෝහල, කොළඹ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල සහ අවට පිහිටි සියලු රෝහල් හදිසි තත්ත්වය වෙනුවෙන් සූදානම් කොට  පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

අතරේක වෛද්‍ය කණ්ඩායම් සහ සෞඛ්‍ය කාර්යය මණ්ඩල රත්නපුර මහ රෝහලෙන් සහ අවට රෝහල්වලින් යොමු කර ඇති බව පවසන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තුවාල කරුවන් ශෛල්‍ය කර්ම සඳහා භාජනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව ද සඳහන් කළේය.

එමෙන්ම මේ වනවිට අවිස්සාවේල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය තාවකාලිකව වසා දමා ඇති බැවින් ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

  • Views 89