අද උදෑසන සත්‍යයග්‍රහයක් ආරම්භ කළ වෘත්තීය සමිති සාමාජිකයින්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබා දී තිබියදීත් එය අඛණ්ඩව පවත්වා ගෙන යන්නේ යටි අරමුණක් සහිතව බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ දැනට පවතින තත්ත්වය පැහැදිලි කිරීම සඳහා කැඳවූ මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව වරාය අධිකාරියේ ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ විශ්‍රාමික ජෙනරල් එන්. නිශ්ශංක මහතා පැවසීය.

මේ වන විට කාර්මික සාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් පොලිසියට පැමිණිලි කර ඇතැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

“පිරිසක් වරාය අධිකාරියේ වඩු අංශයට පෙරීදා  අනවසරයෙන් ඇතුළු වුණා. මේ ගැන කළ මූලික පරීක්ෂණයකින් පසුව ඒ වනවිට එහි සිටි ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනකුගේ වැඩ තහනමකට ලක් කළා. කෙසේ නමුත් ඔවුන් දෙදෙනාගේ වැඩ තහනම ඉවත් කරලා නැවත සේවයේ පිහිටුවන ලෙස අද උදෑසන සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට වෘත්තීය සමිති නායකයින් කටයුතු කළා. නමුත් එම සත්‍යයග්‍රහය ගැන පූර්ව දැනුම් දීමක් කළෙත් නැහැ. නමුත් කාර්මික සාමය ආරක්ෂා කිරීම අපේ මූලික අරමුණ නිසා වෘත්තීය සමිති නායකයින් සමග මම මගේ කාර්යාලයේදී සාකච්ඡා කළා. දැනට වැඩ තහනමට ලක්ව සිටින ආරක්ෂක අංශයේ නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම අවසන් කළ හොත් සත්‍යයග්‍රහය නතර කරන බව ඔවුන් මට එහිදී ප්‍රකාශ කළා. එම වැඩ තහනම ඉවත් කිරීම ලිඛිතව කළ යුතු බවද ඔවුන් ප්‍රකාශ කළා. ඒ අනුව මම කාර්මික සාමය පවත්වා ගැනීමේ අරමුණින් ඉහළ කළමනාකාරිත්වය දැනුවත් කර ඔවුන්ගේ වැඩ තහනම පරීක්ෂණවලට යටත්ව ඉවත් කිරීමේ ලිපිය නිකුත් කළා. නමුත් තවමත් සත්‍යයග්‍රහය නතර කර නැහැ. අපි අපේ පාර්ශ්වයෙන් කාර්මික සාමය පවත්වාගෙන යාමට උපරිම ක්‍රියා මාර්ග ගෙන තිබියදීත් සත්‍යග්‍රහය ක්‍රියාත්මක කරනවා. ඒ නිසා මෙම සත්‍යග්‍රහය පිටුපස වෙනත් ක්‍රියාවලියක් පවතින බව අපට පැහැදිලි වනවා......'' යැයිද ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂ විශ්‍රාමික ජෙනරල් එන්. නිශ්ශංක මහතා පැවසීය.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වමින් ගරු අර්ජුන රණතුංග අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් තමීර මංජු මහතා පැවසුවේ දැනට විදේශගතව සිටින අමාත්‍යතුමා දිවයිනට පැමිණීමෙන් පසුව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරනු ඇති බවයි.

“දැන් මේ වනවිට උපවාසයේ යෙදී සිටින ලාල් බංගමුව මහතාගේ  පෙර චර්යා විස්තරය තමයි මේ තියෙන්නේ. අද අපි ඒක ලිඛිතව ලබාගත්තා ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන්. 1993 වසරේ 03 වැනි මස 09 වනදා වැඩිපුර රෙදි රෝල් එකක් පැටවීමට රථ සටහන් පත් නිකුත් කිරීම පිළිබඳ විෂමාචාරය නිසා වැරදිකරුවෙක් වෙලා දින තුනක  වැටුප් දඩයක් ගහලා තියෙනවා. ඒ වගේම ඊට මාසයකට පසු 1993 වසරේ 04 වැනි මස 17 වනදා  කාටුන් 135 ක් 130 ක් ලෙස සටහන් කිරීම සම්බන්ධයෙන් විෂමාචාරයට වැරදිකරුවී දින තුනක වැටුප දඩයක් වශයෙන් ගෙවා තිබෙනවා. 1995 එවැනි වරදක් කරලා තදින් අවවාද කරලා තියෙනවා. 1997 දී ගාල්ල වරායට ස්ථාන මාරුවකට වාර්තා නොකිරීම සම්බන්ධයෙන් තනතුර හැරයාමේ ලිපියක්  මෙතුමාට නිකුත් කර තිබෙනවා. ඉන්පසු 2002 වසරේ 07 වැනි මස 26 වැනිදා වංචා සහගත ලෙස අත්සන සටහන් කිරීම සම්බන්ධව විෂමාචාරයට  තදින් අවවාද කර තිබෙනවා. 2011 වසරේ 01 මස 28 වැනිදා අනවසර භාණ්ඩ සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සම්බන්ධ පරීක්ෂණ නොමග යැවීම සඳහා අසත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් විෂමාචාරයට තදින් අවවාද කර තිබෙනවා.

දැන් පවතින පරීක්ෂණයක් තමයි 2014 වසරේ 10 වැනි මස 21 පටන්ගන්නේ. පෑලියගොඩ බහලු මෙහෙයුම් මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබු රෙදි රෝල් 2කින් එකක් අස්ථානගත කිරීම සම්බන්ධව බරපතල විෂමාචාරයක් කර තිබෙනවා. ඒ සඳහා වන පරීක්ෂණ මේ වන විට පැවැත්වෙනවා. මෙතුමා හැම අවස්ථාවේම රෙදි තමයි සොරකම් කර තිබෙන්නේ. දැන් මොවුන්ගේ ඉල්ලීම වී තියෙන්නේ මේ 2014 සිට පැවැත්වෙන මේ විනය පරීක්ෂණ නතර කරන්න. දැන් අපි තීරණය කරන්න ඕන, ඔබ තීරණය කරන්න ඕන ජනතාව වශයෙන් අපි මේ අයට දඞුවම් දෙනවද එසේත් නැතිනම් ආපස්සට හැරෙනවද? යහපාලනයේ සිද්ධාන්ත මත වැරදිකරුවන්ට දඞුවම් දීම අනිවාර්යෙන්ම කළ යුතුයි. ඒ වගේම මේ තියෙන්නේ ගාලු මුවදොර පිටියේ මෙහෙයුම්වලදී සිදු වූ මුදල් අක්‍රමිතා ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ විගණන වාර්තාව. මෙහි තිබෙනවා රුපියල් මිලියන 5.5 ක මුදලක් වංචා සහගතව ලබාගෙන තියෙනවා කියලා. එම විගණන වාර්තාව පදනම් කරගනිමින් ප්‍රසන්න කළුතරගේ මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කළේ  2013 වසරේ 11 වැනි මස 05 වැනිදා. වර්තමාන පාලනය ආරම්භ කිරීමට අවුරුදු 3කට පෙරදී. වරාය අධිකාරියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස සිටියදී වෙනත් බාහිර සමාගමක් ආරම්භ කර ගාලු මුවදොර පිටියෙන් අයථා විදියට මුදල් ඉපයීම සම්බන්ධයෙන් තමයි මේ චෝදනාව තියෙන්නේ. මේ චෝදනාවට සම්බන්ධ පරීක්ෂණ අපිට නවත්වන්න පුළුවන්ද. මේ පරීක්ෂණ අපි ආරම්භ කළ ඒවා නෙමෙයි. එතකොට කාර්මික සාමය පවත්වාගෙන යාම සඳහා අපේ පැත්තෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා තියෙනවා. හැබැයි වෘත්තීය සමිති නායකයින් එවැන්නකට සූදානම් නැහැ. පටු අරමුණු වෙනුවෙන් මේ වෘත්තීය සමිති යැයි කියාගන්නා පිරිස් විසින් කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරනවා....” යැයිද මාධ්‍ය ලේකම්වරයා පැවසීය. 

  • Views 147