Post Thumb

ශ්‍රී ලංකා - එංගලන්ත තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 9ක් දැවී ලකුණු 286ක් ලබා ගන්නා ලදී.

එහිදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 73ක්, සීකුගේ ප්‍රසන්න ලකුණු 59ක්, දිනේෂ් චන්දිමාල් ලකුනු 37ක්, පර්වේස් මහරූෆ් නොදැවී ලකුණු 31ක් වශයෙන් ලබාගනිමින් ශ්‍රී ලංකා පිල වෙනුවෙන් වැඩිම ලකුණු ගත් අය බවට පත්විය.පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම ද කඩුලු 8ක් දැවී තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත් විය.

එංගලන්ත ඉනිමේ පළමු කඩුළු 6 ලකුණු 82ක් තුළ දැවී ගියද ජොස් බට්ලර්ගේ ලකුණු 93ත්, ක්‍රිස් වෝකස් නොදැවී ලබාගත් ලකුණු 95ත් හේතුවෙන් එංගලන්ත ඉනිම යළි ගොඩනැගිණ.

අවසන් පන්දුවාරයට ලකුණු 14ක් ලබා ගැනීමට තිබූ අතර පළමු පන්දු 5ට ලකුණු 13ක් ලබාගත් එංගලන්ත පිතිකරුවන් අවසන් පන්දුවට 6 පහරක් එල්ල කරමින් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත් විය.

එම පන්දුවාරය නුවන් ප්‍රදීප් විසින් යැවූ අතර අවසන් පන්දුවට 6පහරක් එල්ල කරමින් ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණ බලාපොරොත්තුව අහිමි කළේ ලියම් ප්ලන්කට් විසිනි.

තරගයේ වීරයා සම්මානය නොදැවී ලකුණු 95ක් රැස්කළ ක්‍රිස් වෝකස්ට හිමි විය.

ඔහු පන්දු යැවීමේදී ද කඩුළු 2ක් බිඳ දැමීය.

එංගලන්තයේ නොටින්හැම් හි තරගය පැවැති අතර දෙරට අතර තරගාවලියේ දෙවැනි තරගය ලබන 24 දා එඩ්බැඩ්ජ්ස්ටන් හි පැවැත්වීමට නියමිතය.

මීට එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය 2ට 0ක් ලෙස පරාජය වූ ශ්‍රී ලංකා පිල අයර්ලන්තය සමග පැවැති එක්දින තරගාවලිය 2ට 0ක් ලෙස ජය ලබා ගැනීමත් සමග මෙම එක්දින තරගාවලියට එය මානසික වශයෙන් යහපත් වාතාවරණයක් උදාකරන ලදී.

  • Views 183