Post Thumb

රටේ ජාතික විදුලි බල අවශ්‍යතාවය සපුරාලමින්දි ඉදිරි දස වසර තුළ රට බලශක්තියෙන් ස්වයංපෝෂිත කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ සමග එක්වන ලෙස ජනාධිපතිතුමා පෞද්ගලික අංශයේ ආයෝජකයින්ට ඇරයුම්කරයි.

විදුලිබල හා බල ශක්ති නව අයෝජන සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මෙම ආරාධනාව සිදු කළේය.

සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන ලෙස මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිතුමා ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය ලබා ගැනීමේ හැකියාව ද පෙන්වා දුන්නේය.

සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරිමටද ඉදිරියේදී ශී‍්‍ර ලංකාව අපේක්ෂා කරන අතර ඒ පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

වික්ටෝරියා බලාගාරයේ විදුලි පද්ධතිය පුළුල් කිරීම පිළිබඳවද මෙහිදී යෝජනාවූ අතර ඉදිරි කටයුතු සොයාබැලීමට ඒ පිළිබඳ වාර්තාවක් තමා වෙත ලබා දෙන ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස්දුන්නේය.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, අමාත්‍ය මලික් සමරවික‍්‍රම, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ යන මහත්වරුන් ඇතුළු ශී‍්‍ර ලංකා විදුලි බල මණ්ඩලයේ, ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නියෝජිතයින් ද පෞද්ගලික ආයෝකයින් පිරිසක් ද සාකච්ඡාවට එක්ව සිටියහ.

 

  • Views 164