ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා ජනතා විමුක්ති පෙරමුණ, පැලවත්ත ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කියා සිටියේ රටේ මූල්‍ය පාලනයේ හදවත මහබැංකුව වන බවත් එම නිසා දූෂිතයින් හෙළිදරව් කිරීම වගකීමක් වන බවත්ය.

“මේ වනවිට රට තුළ විශාල මූල්‍ය අර්බුදයක් ඇතිවෙලා තිබෙනවා. ඊට ප්‍රධාන හේතු කිහිපයක් බලපා තිබෙනවා. රාජපක්‍ෂ පාලන කාලය තුළ සිදුකළ වංචා-දූෂණ-අක්‍රමිකතා හේතුවෙන් විශාල මුදලක් රටට අහිමි වුණා. ඒ වගේම රාජපක්‍ෂ පාලනය කාලයේ අපේ රට විශාල ණය උගුලක හිරකළා. එම හේතු නිසා පැන නැගපු මූල්‍ය අර්බුදය තව තවත් දිග්ගැස්සෙමින් තිබෙනවා. වත්මන් ආණ්ඩුවත් අයථා ගනුදෙනු, ඥාති ගනුදෙනු හරහා ජනතා මුදල් නාස්ති කරනවා.

දින 100 ආණ්ඩුවේ මුල් කාලයේ නව මහබැංකු අධිපතිවරයෙක් පත්කළා. මහබැංකු අධිපතිවරයා පත්කර මාසයක් ගතවීමටත් පෙර ඔහු ඥාති සංග්‍රහයක් කළා. තමන්ගේ බෑනාට මහබැංකු බැඳුම්කර විකුණමින් ඥාති ගනුදෙනුවක් කළා. ජනතා විමුක්ති පෙරමුණ එම අයථා ගනුදෙනුව පිළිබඳව රටේ ජනතාවත් පාර්ලිමේන්තුවත් දැනුවත් කළා. මහබැංකු බැඳුම්කර ගනුදෙනුව ගැන මුලින්ම කතා කළේ ජනතා විමුක්ති පෙරුමණයි. අප පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සහෝදරයා 2015 මාර්තු 10 වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව රටට හෙළිකළා. දූෂිත ගනුදෙනුව ගැන විධිමත් පරීක්‍ෂණයක් සිදුකරන ලෙසත් මහබැංකු අධිපතිවරයා ධුරයෙන් ඉවත් කර සුදුසු පුද්ගලයෙකු එම තනතුරට පත්කරන ලෙසත් අපි ආණ්ඩුවට අවධාරණය කළා. මුල සිටම ඒ පිළිබඳව අපි පැහැදිළි, සෘජු ස්ථාවරයක සිටියා.

වත්මන් මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට එරෙහිව පමණක් නෙවෙයි අජිත් නිවාඞ් කබ්රාල් මහබැංකු අධිපතිවරයාව සිටියදී සිදුකළ ග්‍රීසියේ බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව අපි අල්ලස් හෝ දූෂණ කොමිසමට 2015 ජනවාරි 13 පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ග්‍රීසියේ බැඳුම්කර මිලදී ගැනීම හරහා අපේ රටේ ජනතා මුදල් විශාල ප්‍රමාණයක් රටට අහිමි කළා. මහබැංකුවේ අධිපති ධුරය පාවිච්චි කරලා අපේ රටේ ජනතාවගේ මුදල් සමඟ සෙල්ලම් කරන්න දෙන්න බැහැ. මහබැංකුව තුළ සිදුවන ඉලක්කම් දශම ගණනක ගනුදෙනු නිසා අපේ රටේ ජනතාවට මුදල් කෝටි ගණන් පාඩු වෙනවා. මහබැංකුව කියන්නේ රටේ මූල්‍ය පාලනයේ හදවතයි. ඒ නිසා මහබැංකු අධිපතිධුරයට පත්වන පුද්ගලයා කවුද කියලා අපට අදාල නැහැ. ඕනෑම පුද්ගලයෙකු එම තනතුරේ සිට වැරදි කළොත් ඊට එරෙහිව අපි මැදිහත් වෙනවා.

මෙම මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් අපේ පක්‍ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. අපේ පක්‍ෂයේ ස්ථාවරය වුණේ මහබැංකු අධිපතිවරයා ඉවත් කළ යුතු බවයි. නමුත් ආණ්ඩුව ඒක කළේ නැහැ. දින 100 ආණ්ඩුව දින ගණනක් ඉක්මවා යමින් තිබුණා. මේ අතර මෙම ගනුදෙනුව පිළිබඳව කෝප් කමිටුවේ විමර්ශනයක් ආරම්භ කළා. එම කෝප් කමිටු වාර්තාව ඉදිරිපත් කරන්න කලින් ආණ්ඩුව විසුරුවා හැරියා. ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් කෝප් කමිටු වාර්තාවට එරෙහිව වාරන නියෝගයක් පවා ලබා ගත්තා. ඒ ආකාරයෙන් ආණ්ඩුව මෙම ගනුදෙනුවේ තොරතුරු ජනතාවගෙන් වසංකළා.

නව කෝප් කමිටුව පත්වෙලා ගතවෙලා තිබෙන්නේ මාස 4යි. මීට මාස 3කට ඉහතදී මහබැංකු ගනුදෙනුව පිළිබඳව කෝප් කමිටුව විමර්ශනයක් ආරම්භ කළා. විගණකාධිපතිවරයා හරහා මහබැංකු බැඳුම්කර ගණුදෙනුව පිළිබඳව විගණන පරීක්‍ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන්න කියලා කෝප් කමිටුව නිර්දේශ කළා. කෝප් කමිටුවේ ඉන්නේ ජවිපෙ මන්ත්‍රීවරුන් විතරක් නෙවෙයි. ආණ්ඩු පක්‍ෂයේ, විපක්‍ෂයේ සියලු පක්‍ෂ කෝප් කමිටුව නියෝජනය කරනවා. මෙම සියලුම සාමාජිකයින් තමයි තීරණ ගන්නේ. ඒ අනුව ලබන බදාදා රැස්වෙන විශේෂ කෝප් කමිටු රැස්වීමට විගණකාධිපති වාර්තාව ඉදිරිපත්කිරීමට නියමිතයි. අපි පැහැදිලිව කියනවා මෙම ගනුදෙනුව හෝ මහබැංකු අධිපතිවරයා ආරක්‍ෂා කරන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ. එම වංචාව හෙළිදරව් කරන්න ජවිපෙ කටයුතු කරනවා. මහබැංකු අධිපතිවරයා ගැන විමර්ශනය කරන්න යෝජනා කළේ මහින්දානන්ද කියලා සමහරු කියා තිබුණා. කෝප් කමිටුවේ විමර්ශනයට තීන්දුව ගන්නා විට මහින්දානන්ද මන්ත්‍රීවරයා කෝප් කමිටුවේ සාමාජිකයෙක්වත් නොවෙයි. පසුගිය මැයි 18වැනිදා ප්‍රසන්න රණතුංග කෝප් කමිටුවෙන් ඉවත් වූ පසුවයි මහින්දානන්ද මන්ත්‍රීවරයා කෝප් කමිටුවට පත් වෙන්නේ. ඒ නිසා මහින්දානන්ද මන්ත්‍රීවරයාගේ මැදිහත්වීම ගැන කියන කතාව පට්ටපල් බොරුවක්. මෙම පරීක්‍ෂණය සම්බන්ධයෙන් කෝප් කමිටුවේ වාර්තාවක් ඉදිරිපත් වීමට නියමිතව තිබියදී සමහරු කියනවා ජනතා විමුක්ති පෙරමුණ මහබැංකු අධිපතිවරයා ආරක්‍ෂා කරන්න උත්සාහ කරනවා කියලා.

සීමාව ඉක්මවා ණය ගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාවේ විගණකාධිපතිවරයා සටහනක් තබා තිබෙනවා. පාර්ලිමේන්තුවේ සම්මත කළ ණය සීමාව ඉක්මවා මේ ආණ්ඩුව ණය ලබාගෙන තිබෙනවා. එම ණය සීමාව 100%ක් ඉක්මවා ගොස් තිබෙනවා. මිලියන 17,80,000ක් ණය ලබාගත යුතු බව පාර්ලිමේන්තුව නිර්දේශ කර තිබියදී රුපියල් මිලින 35,49,805ක් මේ ආණ්ඩුව ණය ලබාගෙන තිබෙනවා. රුපියල් මිලියන 15,69,805ක් වැඩිපුර මේ ආණ්ඩුව ණය අරගෙන තිබෙනවා. ආණ්ඩුව කියන්නේ රාජපක්‍ෂ පාලනය කාලයේ ගත්තු ණය ගෙවන්න තමයි මේ ණය ගන්නේ කියලා. විෂෙන් විෂ නසන තියරියට අනුව ණයෙන් ණය ගෙවනවා කියලයි මේ ආණ්ඩුව කියන්නේ. අපි මේ ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. එවිට මුදල් ඇමතිවරයා කිව්වා මෙම සිදුවීම විගණකාධිපතිවරයා වාර්තා කරන ආකාරයේ ප්‍රශ්නයක් තිබෙනවා අපි ගිය වසරෙදිත් කළේ මේ විදියටයි කියලා. ඇත්තටම සිදුවෙලා තිබෙන්නේ 2005 සිට මේ වැරැද්ද සිදුකිරීමයි. නව විගණකාධිපතිවරයා පත්වීමෙන් පසුව එම වැරැද්ද නිවැරදි කර තිබෙනවා. එම සටහන තමයි ඔහු මුදල් අමාත්‍යාංශ වාර්ෂික වාර්තාවේ සටහන් කර තිබෙන්නේ.

මේක රුපියල් මිලියන ගණන්, කෝටි ගණන්වල ප්‍රශ්නයක්. ඒ නිසා මෙම ගැටලුවට සරල උත්තරයක් හොයන්න බැහැ. ඒ නිසා අපි යෝජනා කළා පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවට විගණකාධිපතිවරයා කැඳවලා පැහැදිලි කිරීමක් කරගන්න කියලා. ඒකට ඇතැම් අය කියනවා එය විගණාකාධිපතිවරයාට තර්ජනය කිරීමක්, බිය ගැන්වීමක් කියලා. මේවා පිස්සු විකාර කතා. මේ වගේ ප්‍රකාශ කරන්න එම පුද්ගලයන්ට හේතු වුණේ කෝප් කමිටුවෙන් ඉංජිනේරු සංස්ථාවේ වැඩබිමක් පරීක්‍ෂාවට ලක් කිරීමයි. පහුගිය ආණ්ඩුව කාලයේ ඉංජිනේරු සංස්ථාව් පෑලියගොඩ ඉඩමක ලක්‍ෂ 5570ක් වියදම් කර ආරම්භ කරපු ව්‍යාපෘතියක් අතරමඟ නවත්වා දැමීම පිළිබඳව කෝප් කමිටුවෙන් විමර්ශනයක් කළා. ව්‍යාපෘතියේ අලාභය ගැන පරීක්‍ෂා කළා. එම ව්‍යාපෘතිය පුද්ගලික සමාගමකට කෝන්ත්‍රාත් ලබාදී තිබෙන බවත් විමර්ශනවලදී හෙළිවුණා. ඒකට රිදෙන හිටපු ඇමතිවරයා කෝප් කමිටුව විවේචනය කරනවා. වෙ වෙන අය සුද්ද කරන්න වුවමනාවක් අපිට නැහැ. ඉංජිනේරු සංස්ථාවේ සිදුවූ දූෂණ හොයනවා. පාර්ලිමේන්තුවේ ව්‍යූහයන් ඒ සඳහා යොදාගන්නවා. ඒ අයිතිය අපිට තිබෙනවා. ඒ වගේම මහබැංකු අධිපතිවරයාගේ ගනුදෙනු පිළිබඳවත් සීමාව ඉක්මවා ණය ගැනීම සම්බන්ධයෙනුත් ඒ විදියටම අපි කටයුතු කරනවා. රටේ ජනතාවගේ මුදල් ආරක්‍ෂා කර දීමට අපිට අයිතියක් තිබෙනවා. අපි කාගේවත් පෞද්ගලික වුවමනාවන් ඉටු කරන්නේ නැහැ.

අකුරෙගොඩ ඉදිකරමින් තිබෙන යුද හමුදා මූලස්ථානයේ දුෂණ සිදුවෙලා තිබෙන බව දැන් හෙළිදරව් වෙලා තිබෙනවා. හමුදා මූලස්ථානය ඉදිකිරීමේ යෝජනාව සම්මත වෙන්නේ 2000දී. නමුත් අනුමැතිය ලැබී තිබියදී ප්‍රමාදයක් සිදුවූ අතර ඉදිකිරීම් ආරම්භ වෙන්නේ 2011 වර්ෂයේදී. මේ සම්බන්ධයෙන් සිදුවූ ගනුදෙනු පිළිබඳව සිව්පුද්ගල කමිටු වාර්තාවක් කැබිනට් එකට පහුගියදා ඉදිරිපත් වෙලා තිබෙනවා. එම වාර්තාවට අනුව හමුදා මූලස්ථානය ඉදිකිරීමේ උපදේශන සේවා සහ ගෘහ නිර්මාණ කටයුතු ලබාදීමේදී වැරදිසහගත ගනුදෙනුවක් සිදුවෙලා තිබෙනවා. මුදිත ජයකොඩි සමාගමට මෙම කොන්ත්‍රාත්තුව ලබා දෙන විට එය සමාගමක් ලෙස ලියාපදිංචි කර නැහැ. ගෘහ නිර්මාණ ශිල්පි සංගමයේ ලියාපදිංචිය ලබාගෙන නැහැ. එමනිසා අයථා ගනුදෙනුවක් සිදුවෙලා තිබෙන බව පැහැදිලියි. ගුවන් හමුදා මූලස්ථානය ඉදිකිරීමේ මුල් අදියර සඳහා රුපියල් කෝටි 4,317ක මුදලක්ද දෙවන අදියර සඳහා කෝටි 1,020ක්ද වශයෙන් සම්පූර්ණ ඉදිකිරීම සඳහා කෝටි 5337ක මුදලක් වෙන්කර තිබෙනවා. එයින් 5.5%ක් උපදේශන සේවා සමාගම්වලට වෙන්කර තිබෙන අතර 1.5%ක් මෙම මුදිත ජයකොඩි සමාගමට ලබාදිය යුතු බවට එකඟතාවයක් තිබෙනවා. 2014 මැයි මාසය වනවිට මුදිත ජයකොඩි සමාගමට හැට කෝටියක මුදලක් ලබාදී ඇති අතර මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයට කෝටි 155ක් ගෙවා තිබෙනවා. මුදිත ජයකොඩි සමාගමට ලක්‍ෂ 1731ක් වැඩිපුරත් ගෙවා තිබෙන අතර ඉංජිනේරු උපදේශන කාර්යාංශයට ගෙවා තිබෙන්නේ ලක්‍ෂ 1465ක් අඩුවෙන්ය.

මෙම මුදිත ජයකොඩි සමාගම ආරක්‍ෂක පාසැල, මහබැංකුවට අදාල සිටි ටවර් ගොඩනැගිල්ල ඇතුලු කොන්ත්‍රාත් ගණනාවක් ලබාගෙන තිබෙන ආයතනයක්. මේ සමාගම විසින් තමයි බැසිල් රාජපක්‍ෂගේ ගම්පහ ඔරුතොට කාර්යාලයත් ඔහුගේ යැයි කියන මල්වානේ නිවසත් ඉදිකිරීම් සඳහා ගෘහ නිර්මාණ සේවා සහ උපදේශන සේවා නොමිලේ සපයා තිබෙන්නේ. රාජපක්‍ෂලාගේ පෞද්ගලික කටයුතු නොමිලේ කර දෙන අතර එම සමාගමට ආණ්ඩුවේ කොන්ත්‍රාත් ලබා දෙනවා. ලොකුම විහිලුව කියන්නේ මෙම සමාගමට ඉන්නේ  එක අධ්‍යක්‍ෂක වරයෙක් වීමයි. මුදිත ජයකොඩි සමාගම මෙම කටයුතු සිදුකරන්නේ විදෙස් සමාගමක් සමඟ අත්සන් කර තිබෙන හවුල් ව්‍යාපාර ගිවිසුමක් අනුවයි. මෙම දූෂිත ගනුදෙනු නිසා අපේ රටට බරපතල පාඩුවක් සිදුවෙලා තිබෙනවා. මෙම අලාභය පියවා ගන්න තමයි වත්මන් ආණ්ඩුව ජනතාවට බදු ගහන්නේ. ණය ගන්නේ.

එහෙම කරන ගමන් මේ ආණ්ඩුව මහබැංකු අධිපතිවරයා ආරක්‍ෂා කරනවා. අයථා ගනුදෙනු ආරක්‍ෂා කරනවා. අපි ආණ්ඩුවට අවධාරණය කරනවා පහුගිය ආණ්ඩුවෙන් සිදුවූ වංචා දූෂණ පිළිබඳව නීතිමය පියවර ගන්න කියලා. නීතිමය පියවර ගන්නවා පමණක් නෙවෙයි වංචා කළ මුදල් නැවත අයකර ගැනීමට කටයුතු කරන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. මෙම දූෂිත ගනුදෙනු යට ගහලා ආණ්ඩුවට තවත් ඉදිරියට යන්න පුළුවන්කමක් නැහැ. ජනතා විරෝධය තව තවත් වැඩිවෙමින් තිබෙනවා.....” යැයිද එතුමා පැවසීය.

 

 

  • Views 167