Post Thumb

අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳ තීරණය කොප් කමිටුවට භාරදීම ජනාධිපතිගේ සහ අගමැතිගේ ජාම බේරාගැනීමේ සම්‍යප්‍රයෝගයක් බව ජ.වි.පෙ. නායක අනුර දිසානායක මහතා පවසයි. එතුමා මේ බව පැවසූයේ අද ජනතා විමුක්ති පෙරමුණ බත්තරමුල්ල ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී සිය දක්වමිනි. එහිදී එතුමා වැඩිදුරටත් පැවසූයේ, 

කවර ආණ්ඩුවක් බලයට පත්වුවත් මහ බැංකුවේ ප්‍රධාන කාර්යභාරය පොලී අනුපාතික උච්චාවචනය, උද්ධමන උච්චාවචනය හා විනිමය අනුපාතිකය පිළිබඳව ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමයි. කවර ආණ්ඩුවක වුවද ආර්ථික ප්‍රතිපත්තිය වෘත්තීමය ලෙස මෙහෙයවීම සිදුකරනු ලබන්නේ මහබැංකුව විසිනුයි. එනිසා බොහෝ කාලයක සිට මහ බැංකුවේ මහ බැංකුවේ ප්‍රධානියා ලෙස පත්වූයේ වෘත්තීමය නිපුනතාවයක් තිබෙන, දේශපාලන වශයෙන් මැදිහත්වීමක් සිදුනොකරන නිලධාරියෙකුයි. නමුත් මෙම සම්ප්‍රදාය රාජපක්‍ෂ පාලනය විසින් විකෘති කළා. එක්සත් ජාතික පක්‍ෂ පළාත් සභා මන්ත්‍රීවරයෙක් වූ අජිත් නිවාඞ් කබ්රාල් 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට මැතිවරණ ක්‍රියාධරයෙකු ලෙස සහාය ලබාදුන්නා. ඉන් පසු ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා බවට පත්කරනු ලැබුවා. පළමු වතාවට ශ්‍රී ලංකා මහ බැංකුවට දේශපාලන පත්වීමක් ලබාදුන්නා. එම දේශපාලන මැදිහත්වීම පිළිබඳව බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කළ යුතු බව ප්‍රකාශ කළා. නමුත් බන්දුල ගුණවර්ධන එජාපයේ සිට මහින්ද රාජපක්‍ෂ පිලට මාරුවීමත් සමඟ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ක්‍රියාවලිය ඉදිරියට ගියේ නැහැ. 


කබ්රාල්ගේ පත්වීම කෙතරම් දේශපාලනීකරණය වුණේද කියනවා නම් විදේශයක උත්සවයකදී නාමල් රාජපක්‍ෂ මන්ත්‍රීවරයා සමඟ කබ්රාල් මහබැංකු අධිපතිවරයා සෙල්ලම් කෝච්චි පදින තැනකට පත්වුණා. ඒ තරමට එම තනතුර දේශපාලනීකරණය වුණා. ඒ වගේම අජිත් නිවාඞ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස සුවිශේෂී ගනුදෙනු කිහිපයකට සම්බන්ධ වුණා. ග්‍රීසිය කඩා වැටෙමින් තිබෙන යුගයක යුරෝපා පාර්ලිමේන්තුවේ පවා ග්‍රීසියේ කඩා වැටීම යුරෝපා සංගමයට බලපාන ආකාරය පිළිබඳව බරපතළ ලෙස සාකච්ඡා වෙන යුගයක අජිත් නිවාඞ් කබ්රාල් ග්‍රීසියේ බැඳුම්කර ආයෝජනයක් කළා.  රුපියල් කෝටි 700ක මුදලක් අයෝජනය කළ අතර ග්‍රීසියේ කඩා වැටීමෙන් පසු එම සම්පූර්ණ මුදල ශ්‍රී ලංකාවට අහිමි වුණා. ලෝකයේ ආර්ථිකය බිඳවැටීමේ ප්‍රකාශකයා බවට ග්‍රීසිය පත්ව තිබූ මොහොතක එවැනි ආයෝජනයක් කිරීමෙන් රටට විශාල පාඩුවක් වුණා. 


ඒ වගේම විශාල කතාබහකට ලක්වූ හෙජින් ගනුදෙනුවේ ආරම්භකයා අජිත් නිවාඞ් කබ්රාල්. ඔහු තමයි කැබිනට් මණ්ඩලයට හෙජින් ගනුදෙනුව ගැන වැඩමුළු කළේ. එම හෙජින් ගනුදෙනුව හරහා අපේ රටට රුපියල් කෝටි 7000කට ආසන්න මුදලක් පාඩු වුණා. සේවක අර්ථසාධක අරමුදලේ භාරකරුවා මහ බැංකුවයි. එම අරමුදලේ කොටස් වෙළඳපොළේ මාෆියා ගනුදෙනුවලට යොදා ගනිමින් රු. කෝටි 2800ක පාඩුවක් සිදුකළා. මේ ආකාරයට අජිත් නිවාඞ් කබ්රාල් ග්‍රීසියේ බැඳුම්කර මගින්, හෙජින් ගනුදෙනුව මගින්, ඊ.පී.එෆ් අරමුදල කොටස් වෙළඳපොළේ යෙදවීම මගින් විශාල මුදල් නාස්තියක් කළා. පහුගිය ජනවාරි 08වැනිදා පැවති පාලනය බිඳවැට්ටවීමේදී මෙම කරුණු ප්‍රධාන මාතෘකා බවට පත්වුණා.


මෙම කරුණු නිසා මහ බැංකුව සම්බන්ධයෙනුත් මහ බැංකු අධිපතිවරයාගේ ක්‍රියා කලාපය ගැනත් රට තුළ වඩා වැඩි අවධානයක් යොමු වී තිබුණා. එවැනි තත්වයකදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා තමන්ගේ ගජ මිතුරා වූ අර්ජුන මහේන්ද්‍රන් එම පුටුවේ වාඩි කළා. ඉන් පසු 2015 පෙබරවාරි 27වැනිදා සිදුවූ බැඳුම්කර ගනුදෙනුවේදී මහ බැංකු අධිපතිවරයා තමන්ගේ බෑනාට වැඩි වාසි අත්වන ආකාරයට බැඳුම්කර නිකුතුව රුපියල් බිලියන 1 සිට රුපියල් බිලියන 10ක් දක්වා වැඩිකළා. මෙම ගනුදෙනු මගින් තමන්ගේ බෑනාගේ සමාගමට වැඩි ලාභයක් අත්කර දීමට ඔහු කටයුතු කළා. ඒ සඳහා ඔහු නව බැඳුම්කර ක්‍රියාවලියක් හඳුන්වා දුන්නා. ඒ පිළිබඳව 2015 මහබැංකු වාර්ෂික වාර්තාවේ මෙසේ සඳහන් වී තිබෙනවා. “මෙම වසර තුළදී රාජ්‍ය සුරැකුම්පත්වලට ආයෝජන ලබාගැනීමේ සෘජු නිකුතුව යොදා ගැනීම වෙනුවට පූර්ණ වශයෙන්ම වෙන්දේසි මත පදනම් වූ ක්‍රමයක් යොදාගන්නා ලදී.” මේ ආකාරයට තමන්ගේ බෑනාගේ ලාභය වෙනුවෙන් ක්‍රමවේද වෙනස් කළා. ලෝකය පුරා බැඳුම්කර නිකුත්කිරීම් සඳහා අනුගමනය කරන ක්‍රියාවලිය තමයි මීට පෙරත් ශ්‍රී ලංකා මහ බැංකුව අනුගමනය කළේ. අර්ජුන මහේන්ද්‍රන් විසින් එම ක්‍රමය වෙනස් කළා. 


මෙම මහ බැංකු බැඳුම්කර නිකුතුව නිසා 2015 වර්ෂයේ පොලී ගෙවීම රු. කෝටි 6400කින් වැඩිවුණා. තමන්ගේ බෑනාට වැඩි ලාභ අත්කර දීම වෙනුවෙන් සිදුකළ එම බැඳුම්කර නිකුතුවේදී මහ බැංකු අධිපතිවරයා සෘජු ලෙස මැදිහත් වෙමින් අතපෙවීම් කළා. මේ ආකාරයට 2016 මාර්තු මාසයේ 28 වැනිදා තවත් ගනුදෙනුවක් සිදුවුණා. රු බිලියන 10ක් සඳහා බැඳුම්කර නිකුතුවක් සිදුකළා. ඒ සඳහා උපරිම පොලී අනුපාතිකය වුණේ 12.2%කි. එනම් රු. බිලියන 10 බැඳුම්කර නිකුතුවට පොලී අනුපාතිකය 12.2%න් නවතිනවා. නමුත් වැඩි මිලදී ගැනීමක් සිදුවන විට පොලී අනුපාතිකය වැඩිවෙනවා. එම නිකුතුවේදී බිලියන 10 සිට බිලියන 25දක්වා බැඳුම්කර මිලදී ගත්තා. ඒ නිසා පොලී අනුපාතිකය 14.6% දක්වා වැඩිවුණා. මෙම වැඩිවීම හරහා තම බෑනාට වැඩි ලාභයක් සහිතව බැඳුම්කර ලබාදීමට මහ බැංකු අධිපතිවරයා විසින් කටයුතු කර තිබෙනවා. 


මෙම මුදල් ගනුදෙනු අර්ජුන මහේන්ද්‍රන් සහ ඔහුගේ බෑනා අතර සිදුවූ පෞද්ගලික ගනුදෙනුවක් නම් ඒ පිළිබඳව අපිට ප්‍රශ්නයක් පැන නගින්නේ නැහැ. නමුත් මෙම බැඳුම්කර නිකුතුවේදී වැඩිවන සෑම පොලී අනුපාතිකයක් සඳහාම ගෙවනු ලබන්නේ මහජන මුදල්. අර්ජුන මහේන්ද්‍රන්ගේ මෙම ක්‍රියාවලිය මගින් රටේ මහජන ධනය තමන්ගේ බෑනාට ලාභ වශයෙන් ලබාදීමට උපයෝගී කරගෙන තිබෙනවා. එනිසා ඔහුට එම පත්වීම නැවත ලබා නොදිය යුතුයි. ඔහුගේ කාලය ජූනි 30 වැනිදායින් අවසන් වෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජාතිය අමතමින් සිදුකළ කතාවකදී පවා මහ බැංකු අධිපතිවරයා ඉල්ලා අස්වීමට කටයුතු කළ බවත් ඔහු තනතුරේ රැඳී සිටීම අගමැතිවරයාගේ තනතුරට හොඳ නැති බවත් ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා පවා මහැ බැංකු අධිපතිවරයා වංචනිකයෙකු වශයෙන් දැනගෙන සිටියදී මෙතරම් කාලයක් තනතුරේ රැඳී සිටීමත් බරපතළ වරදක් ලෙස අපි දකිනවා. 


එනිසා ඔහුට නැවත පත්වීම ලබා නොදීමෙන් පමණක් මෙම ප්‍රශ්නය අවසන් කළ යුතු නැහැ. මහජන මුදල් තමන්ගේ බෑනාට අත්පත් කරදීම පිළිබඳව පරීක්‍ෂණයක් සිදුකළ යුතුයි. ඒ මගින් රටට අහිමි වුණු මුදල් නැවත අත්පත්කරගත යුතුයි. ඒ වගේම පරීක්‍ෂණයක් සිදුකර ඔහුට දඬුවම් ලබාදිය යුතුයි. එසේ නැතිනම් බන්දුල ගුණවර්ධන ගෝල්ෆේස් එකට ගිහින් බඩ කපාගන්නවා වගේ, මහින්ද රාජපක්‍ෂ බෙල්ල කපා ගන්නවා වගේ තමන් පපුවට පිහියෙන් ඇන ගන්නවා කියලා අර්ජුන මහේන්ද්‍රන් ප්‍රකාශයක් කිරීමට ඉදිරියේදී ඉඩකඩ විවෘත වෙනවා. නමුත් දැන් සිදුවෙමින් තිබෙන්නේ මොකක්ද? එම ප්‍රශ්නය කෝප් කමිටුවට බාරදී තිබෙනවා. කෝප් කමිටුවේ සභාපතිවරයා සහ කමිටු සාමාජිකයින්ගේ කටයුතු අර්ජුන මහේන්ද්‍රන්ගේ පත්කිරීමට හෝ සේවා දිගු ලබාදීමට බලපාන්නේ නැහැ. මොකද, මීට පෙර අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට හෝ සේවා දිගු ලබාදීමට කෝප් කමිටුවෙන් අහලා නැහැ. මහ බැංකු අධිපතිවරයා පත්කිරීම ජනාධිපතිවරයා සතු වගකීමක්. එම වගකීම අත්හැර යාමක් හැටියටයි, එම ප්‍රශ්නය කෝප් කමිටුවට බාරදීලා තිබෙන්නේ. මෙය ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ බේරීමට සිදුකළ දෙයක්. 


මීට පෙර කෝප් කමිටුව විසින් ලංකා පුත්‍ර බැංකුවේ සභාපතිවරයා පිළිබඳව විමර්ශනයකින් පසුව ඔහු එම තනතුරට නුසුදුසු බව නිර්දේශ කර තිබෙනවා. ඒ වගේම කෘෂි රක්‍ෂණ මණ්ඩලයේ සභාපතිවරයාගේ ක්‍රියා පිළිබඳව කෝප් විමර්ශනයකින් පසුව ඔහු එම තනතුරට නුසුසුදු බව නිර්දේශ කර තිබෙනවා. එම සභාපතිවරුන් පිළිබඳව කිසිදු පියවරක් නොගත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අර්ජුන් මහේන්ද්‍රන් පිළිබඳව තීරණයක් ගැනීම කෝප් කමිටුවට පැවරීම සම්‍යප්‍රයෝගයක්. මහ බැංකු අධිපතිවරයාගේ සේවා දිගුව හෝ පත්කිරීම ජනාධිපතිවරයා සතු කාර්යභාරයක්. එම නිසා ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ තමන්ගේ ජාම බේරා ගැනීමේ ක්‍රියාවලිය අපි හෙළා දකිනවා....” යනුවෙනි.

 

  • Views 53