Post Thumb

අද (29) පස්වරුවේ මහ බැංකුවේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එහි කාර්ය මණ්ඩලය හමු විය.

රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය සහ ඉදිරි ආර්ථික සැලසුම් පිළිබඳ කාර්ය මණ්ඩලය සමග අදහස් හුවමාරු කර ගැනීම ජනාධිපතිතුමාගේ මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය.

රටේ ඉදිරි ආර්ථික සැලසුම් සකස් කිරීමේදී ආර්ථික විශේෂඥයින්, විද්වතුන් ඇතුළු සියලු පාර්ශවයන්ගේ නිදහස් අදහස් ලබා ගැනීම තම අපේක්ෂාව බව ජනාධිපතිතුමා මෙහිදී කාර්ය මණ්ඩලය අමතමින් ප‍්‍රකාශ කළේය.

ශක්තිමත් ආර්ථිකයක් ඇති සමෘද්ධිමත් රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙළේදී සියලු පාර්ශව වල කි‍්‍රයාකාරී සහභාගිත්වය රජයට අවශ්‍ය බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

මහ බැංකුවේ මාණ්ඩලික නිලධාරීන්, උපදේශකවරුන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලය සමඟ පැවති මෙම හමුවේ දී රටේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ඉදිරි අභියෝග මෙන්ම ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ ජනාධිපතිතුමා ඉදිරියේ දීර්ඝ වශයෙන් අදහස් ප‍්‍රකාශ කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබිණි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, මුදල් අමාත්‍යංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග, මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

  • Views 142