Post Thumb
පාම් තෙල් පොල්තෙල් කරන මහා පරිමාණ කම්හලක් සොයා ගෙන තිබේ.
 
ගලේවෙල එනමල්පොත හතේ කනුව ප‍්‍රදේශයේ මහා පරිමාණයෙන් කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය පාම් තෙල් පොල්තෙල් කිරීමේ මහා පරිමාණ කම්මලක් අද දින අලුයම දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ වැටලීම් අංශය මඟින් අනාවරණය කරගෙන තිබේ.
 
මෙම ස්ථානයේ තිබී කලවම් කරල ලද පොල්තෙල් සහ ෆාම් තෙල් ලීටර් 25000 ට අධික ප‍්‍රමාණයක් සහ මෙම ජාවාරම සිදු කර ගෙන යන ව්‍යාපාරිකයා ලොරි රථ යක් කැබ් රථයක්  සැකපිට  පොලිස් භාරයට  ගැනීමට හැකි වූ බව  දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරි ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ජි.ජයතිලක මහතා පැවසීය.
 
පිට පළාත්වලින් ලොරි රථවලින් මෙම ස්ථානයට පාම් තෙල් රැගෙන විත් එක පසකින් කොප්පරා යොදා යන්ත‍්‍ර සූත‍්‍රවලින් පොල් තෙල් සිදිමත් අනෙක් පසින් පාම් තෙල් කලවම් කිරීම සිදු කරන බවත් එක ස්ථානයකදී වර්ග දෙක එකට කලවම්වී තවත් ස්ථානයකදී  ඇසුරුම් ව ලොරි රථවලට පැටවීම සිදුවන බවත්  පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
 
එසේ කලවම් කොට අලෙවි කිරීම සඳහා නුවර ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කිරීමට සූදානම් කොට තිබූ පොල්තෙල් පිරවූ ලොරි රථයක් ද මෙම ස්ථානයේ තිබී සොයාගෙන තිබේ.
 
එම ලොරි රථයේ පමණක්  තෙල් ලීටර් 4920 ක පමණ ප‍්‍රමාණයක් තිබූ බව පොලිස් විශේෂ බළකායේ නිලධාරීහු පවසයි.
 
වැටලීම සිදු කරන අවස්ථාව වන විට ඒම ජාවාරමට සම්බන්ධ ප‍්‍රධාන ව්‍යාපාරිකයා ඊයේ රාත‍්‍රියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණේ එම ඉඩම පිටුපස පිරිසක් යොදවා ගෙන නිධානයක් හෑරීම චෝදනාවටය.
 
නිධානය හැරිමේ ක‍්‍රියාන්විතයට සහභාගි වී සිටියදී ප‍්‍රදේශවාසියකු විසින් දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරිවරයා වෙත මෙම මහා පරිමාණ පොල්තෙල් ජාවාරම පිළිබඳව තොරතුරු ලබාදීම විශේෂත්වයකි.
 
කොප්පරා ගෙනැවිත් එම ස්ථානයේ තබා පොල්තෙල් සුවඳ හමන ආකාරයට මෙම පාම් තෙල් සහ පොල්තෙල් එකට කලවම් කිරීම සිදුකරනු ලබන්නේ මේ දිනවල විශාල වශයෙන් පොල් තෙල් මිල ඉහළ ගොස් ඇති නිසා බවත්  විවිධ ප‍්‍රදේශවල මෙම ජාවාරම සිදු කරන බව සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකායට පාපොච්චාරණය කළ බව දඹුල්ල කඳවුරේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක ලාල් ජයතිලක මහතා මෙහිදී සඳහන් කළේය.
 
පාම් තෙල් ලීටර් එකක් රුපියල් දෙසිය දහයකට ගෙනැවිත් පොල්තෙල් සමඟ කලවම් කොට ලීටර්  එකක් රුපියල් තුන්සිය හැත්තෑවකට පොල්තෙල් බව පවසමින් මේවා අලෙවි කිරීම සිදු කරන බව ව්‍යාපාරිකයා විසින් තවදුරටත් පාපොච්චාරණය කළ බව පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය.
 
මෙසේ අත්අඩංගුවට ගත් පාම් තෙල් සහ පොල්තෙල් ජාවාරම පිළිබඳව ගලේවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට දැනුම් දීමෙන් පසු අද දින පෙරවරුවේ ගලේවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප‍්‍රමුඛ කණ්ඩායමක් එම ස්ථානයට පැමිණියේය.
 
එහිදී ගලේවෙල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.කේ.දයාරත්න මහතා කියා සිටියේ මෙම ස්ථානයේ පොල් තෙල් කලවම් කරන ජාවාරම පිළිබඳව තම ආයතනයට තොරතුරු ලැබී තිබුනත් තම  නිලධාරී කණ්ඩායම වැටලීම් සඳහා පැමිණෙද්දී ඔවුන් නොමඟ යවා ව්‍යපාරිකයා එම ස්ථානයෙන් පිටත් වන බවයි.
 
කෙසේ වෙතත් පොලිස් විශේෂ කාර්යය බලකාය මෙය අනාවරණය කිරීම පිළිබඳව තමන් ස්තුතිවන්ත වෙන බවද ඔහු පැවසීය.
  • Views 3