Post Thumb

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය දශක 04කට පසුව මෙරට ඉදිවූ විශාලතම බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතියයි. එය ජනතා අයිතියට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ පෙරවරුවේ සිදුවිය.

 

මීට දශක 04කට පෙර පොල්ගොල්ලෙන් ඇරඹි මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ අවසන සනිටුහන් කරමින් මොරගහකන්ද ජලාශ ව්‍යපෘතිය ඊයේ ජනතා අයිතියට පත් කෙරිණි.

මහවැලි පංච මහා ජලාශයන්ට අයත් අවසන් ජලාශය ලෙස මොරගහකන්ද ජලාශය සැලකේ.

1970 වසරේ පෙබරවාරි මස 28 වන දින මහවැලි මහ සැලසුමේ මුල් ව්‍යාපාරය ලෙස පොල්ගොල්ල බෝවතැන්න හැරවුමේ ඉදිකිරීම් එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි ඩඩ්ලි සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ අතර එහි නිල වශයෙන් විවෘත කිරීම 1976 වසරේ ජනවාරි මස 08 වනදා හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අතින් සිදු කෙරිණ.

 

2007 වසරේ ජනවාරි මස 25 වන දින වැඩ ආරම්භ කළ ද විවිධ හේතූන් මත මොරගහකන්ද ව්‍යාපෘතිය ප්‍රමාද වූ අතර පසුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික උනන්දුව හා කැපවීම මත යළි ඉදිකිරීම් කඩිනම් කෙරුණි.

 

මොරගහකන්ද කළු ගඟ බහුකාර්යය සංවර්ධන ව්‍යාපෘතිය මඟින් පුද්ගලයින් ලක්ෂ 03කට පිරිසිදු පානීය ජලය සැපයෙන අතර අක්කර ලක්ෂ 03ක් අළුතින් අස්වද්දා පුද්ගලයින් ලක්ෂ 15කට සෙත සැලසේ.

 

මෙහි තවත් විශේෂත්වයක් නම් මොරගහකන්ද ජලාශය කොන්ක්‍රිට් කරන ලද වේල්ලක්, පස්වලින් සෑදු වේල්ලක් සහ ගල් පිරවූ වේල්ලක් යන වේලි තුනෙන් ම සමන්විත මෙරට දී දැකිය හැකි එකම ජලාශය වීමයි.

 

නකලස් කඳු නිම්නයේ සිට අඹන්ගඟ හරහා ගලා ගිය ජල කඳ හරස් කර මොරගහකන්ද ජලාශය ඉදිකර ඇති අතර කළු ගඟ හරස්කර ඉදිවන නව ජලාශයේ ජලය ද මොරගහකන්දට සපයනු ලබයි.

ජලාශය අක්කර අඩි හය ලක්ෂ 60,000ක සම්පූර්ණ ජල ධාරිතාවකින් යුක්ත ය. එය පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් 06 ගුණයක් බවට ද වාර්තා වේ.

නැගෙනහිර, වයඹ හා උතුරුමැද පළාත්වල වැව් 2000කට පමණ මෙම ව්‍යාපෘතිය යටතේ අළුතින් දියවර සැපයෙයි.

  • Views 4