Post Thumb

මෙවර ලක්ෂ 17 ක් වූ ආබාධ සහිත පුද්ගලයින්ගේ ඉල්ලීම් වලට කිසිදු රජයක් අවධානය යොමු නොකිරීම නිසා මෙවර පළාත් පාලන මැතිවරණය වර්ජනය කිරීම සඳහා ඡන්දය ප්‍රකාශ නොකර සිටීමට තීරණය කර ඇති බව රැකියා විරහිත දෘශ්‍යාබාධිත උපාධිධාරී එකමුතුව පවසා සිටිති. රැකියා විරහිත දෘශ්‍යාබාධිත උපාධිධාරී එකමුතුවේ සභාපති එච්. එම්. ලාල් පුෂ්පකුමාර සහ සාමාජික එල්. ආර්. මධුසංඛ යන දෙදෙනා අද  (09) විශේෂ මාධ්‍ය හමුවක් දඹුල්ලේ පවත්වමින් මේ බව පවසා සිටියේ ය. මෙරට දෘශ්‍යාබාධිත උපාධිධාරීන් හැත්තෑවක් පමණ දෙනා සිටින බවත් තවත් 30 දෙනෙකු පමණ ළඟදීම සිය උපාධිය අවසන් කිරීමට නියමිතව සිටින බවත් 2013 වසරේ සිට මෙම දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ට රැකියා ලබා දෙන ලෙස ඉල්ලීම් කළ ද මෙතෙක් කිසිදු පාලන බලධාරියෙකු නිළධාරියෙකු අවධානය යොමු නොකිරීම නිසා දෘශ්‍යාබාධිත උපාධිධාරීන් දැඩි අසීරුතාවයකට පත් ව සිටින බව ඔවුහු පවසති. මේ හේතුව නිසා තමන්ගේ දුක්ගැනවිල්ල හෙට (10) දින දළදා මාලිගාවේ වැඩ සිටින දන්ත ධාතූන් වහන්සේ ට සැළ කොට පසුව අස්ගිරි හා මල්වතු මහනාහිමිවරුන් වෙත ප්‍රකාශ කොට යම්කිසි සාධාරණයක් ඉටු කර ගැනීමේ අවධානය යොමු කර ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව දෘශ්‍යාබාධිත උපාධිධාරීන්ගේ සංගමයේ සභාපති ලාල් පුෂ්පකුමාර මහතා සඳහන් කළේ ය. සියලුම අධ්‍යාපන සුදුසුකම් සපුරා සිටියදීත් මෙරට ආබාධිත පුද්ගලයින් රාජ්‍ය නිළධාරීන් සිය රාජකාරිය ඉටු නොකිරීම නිසා බලවත් අසාධාරණයක් සිදුව ඇති බවත් මෙරට රාජ්‍ය නිළධාරීන් මෙරට ලක්ෂ දාහතට දාහතක් වූ ආබාධිත පුද්ගලයින්ට වඩා ආබාධිතයන් බව මාධ්‍ය හමුවේ දී සඳහන් කර ඇත. මෙම මාධ්‍ය හමුවේ දී  අදහස් දැක් වූ දෘශ්‍යාබාධිත රැකියා විරහිත උපාධිධාරී එකමුතුව සාමාජික මධුසංඛ මහතා කියා සිටියේ ආබාධිත පුද්ගලයන් සඳහා කිසිදු රජයක් සිය අවධානය යොමු නොකිරීම නිසා දක්ෂ ආබාධිත පුද්ගලයින් අද දැඩි අසීරුතාවයකට පත්ව සිටින බවයි. එමෙන්ම දෘශයාබාධිත වේවා ආබාධිත වෙවා මෙම පුද්ගලයන් කිසිදු අයෙකුගෙන් සිගමන් යැදීමට සූදානම් නැති බවත් ඔවුන්ගේ හැකියාවට උගත්කම රැකියාව ඉල්ලා සිටින බවද ප්‍රකාශ කලේ ය. එනිසා ඉදිරි පලාත් පාලන මැතිවරණය ලක්ෂ 17 ක ආබාධිත සියලුම ජනතාව වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ නොකර වැළකී සිටින ලෙස දිවයින පුරා විසිරී සිටින ආබාධිත සංගම් දැනුවත් කරමින් යන බවද හෙතෙම වැඩිදුරටත්  සදහන් කලේ ය. මෙම රැකියා අපේක්ෂකයන්ට සාධාරණයක් ඉටු නොකළහොත් ඉදිරියේ දී ආණ්ඩුවට මීට වඩා බරපතල ප්‍රශ්න වලට මුහුන දීමට හැකියාව තිබෙන බවත් ඒ සඳහා රටේම ඉන්න ආබාධිත පුද්ගලයන් පමණක් නොව ඔවුන්ගේ පවුල් වල ඥාතීන් පවා සංවිධානය කොට විශේෂ විරෝධතා මාලාවක් රට පුරා සංවිධානය කරන බවද මධුසංඛ මහතා වැඩිදුරටත් සදහන් කලේ ය.       

  • Views 5