Post Thumb

සිය වැටුප් ගැටලුව සම්බන්ධයෙන් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් අද (02) දිනයේ දිවයින පුරා පැය හතරක කාලයක් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව  ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය පවසයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළේ මණ්ඩලයේ පවතින මූල්‍ය තත්ත්වය අනුව සියයට 17යි දශම පහක වැටුප් වැඩිවීමක් ලබාදීමට යෝජනා කළ ද වෘත්තීය සමිති එය ප්‍රතික්ෂේප කරමින් සියයට 25ක වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටින බවයි.

එහි කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මහතා සඳහන් කළේ සිය ගැටලුව සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා මැදිහත් වී විසඳුමක් ලබාදීමට කටයුතු කළ යුතු බවයි.එමෙන්ම මණ්ඩලයේ පවතින මූල්‍ය තත්ත්වය සහ වෙනත් වියදම් සැලකිල්ලට ගනිමින් සාධාරණ වැටුප් වැඩිවීමකට එකඟ වන ලෙස කළ ඉල්ලීම වෘත්තීය සමිති පැහැර හැර ඇති බව එම මණ්ඩලය පවසයි.

කෙසේවුව ද ජනතාවට අත්‍යාවශ්‍ය පානීය ජලය සැපයීමේ ක්‍රියාවලියට බාධා නොවන අයුරින් මණ්ඩලයේ සියලු වෘත්තීය සමිති හා සමස්ත කාර්යය මණ්ඩලය කටයුතු කරනු ඇති බවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විශ්වාසය පල කර සිටියි.

  • Views 5