Post Thumb

එජාපය හෝ වේවා ශ්‍රී ලනිපය හෝ වේවා වෙනත් පක්ෂයක් හෝ වේවා හොරෙක් නම් ඡන්දය දෙන්න එපා..

යහපාලන ආණ්ඩුව ආරක්ෂා කර ගත හැකි යහපත් පුද්ගලයින්ට පමණක් ඡන්දය දෙන්න

ඇමති අර්ජුන මහජනතාවගෙන් ඉල්ලා සිටී...

 

හොරකම සහ වංචාව දූෂණය පිටුදකින පුද්ගලයින්ට පමණක් මෙවර පළාත් පාලන  මැතිවරණයේදී ඡන්දය ලබා දෙන්නැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටි. “අද අපට කථා කිරීමේ නිදහස ඇත. සුදුවෑන් නැත. පැහැරගැනීම්  නැත. නිදහසේ ජීවත් වීමේ නිදහස ඇත. තිරසාර ආර්ථික සංවර්ධනයකට මුලපුරා ඇත. උතුරේත් දකුණේත් සියලුදෙනාටම එකම රටක බියෙන් සැකෙන් තොරව ජීවත් වීමට හැකි නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වා දී ඇත. හොරුන්ට දඬුවම් දීමේ ප‍්‍රමාදයක් තිබුණත් සතුටු  විය හැකි ලෙස හොරකම සහ දූෂණය නැති කිරීමට පියවරගෙන ඇත. දැන් අප කළ යුත්තේ මේ නව දේශපාලන සංස්කෘතිය තවත් දියුණු කරමින් අනාගත පරපුර වෙනුවෙන් රැක ගැනීමය. ඒ සඳහා දේශපාලන සංඥාවක් මෙවර පළාත්පාලන මැතිවරණයේදී පුරවැසියන් ලෙස ඔබට ප‍්‍රකට කළ හැකි බවද මම විශ්වාස කරමි....” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටි. ඒ “ජාතික ආණ්ඩු සංකල්පය ගමේ ආණ්ඩුවටත් හඳුන්වා දෙමු - යහපාලන සංකල්පය දිනවා රට ගොඩනැඟීම ශක්තිමත් කරමු” යන ලිපි ශීර්ෂය යටතේ පුරවැසි මහජනතාව වෙත විවෘත ලිපියක් යොමු කරමිනි.

“නව මැතිවරණ සංස්කෘතියක් ආරම්භ කරමින් පැවැත්වෙන මෙවර පළාත් පාලන මැතිවරණයට තවත් ඇත්තේ දින කිහිපයකි. මේ දින කිහිපයේදී ඔබ ගන්නා දේශපාලන තීරණය රටේ අනාගතය තීරණය කරන තීරණාත්මක තීන්දුවකි. එබැවින් එම තීන්දුව, ඇතැම් පුද්ගලයින්ගේ නොමඟ යැවීම්වලට සහ ජාතිවාදී ආගම්වාදී මෙන්ම පුද්ගලවාදී පක්ෂවලට හසුනොවී  වඩාත් ඥානාන්විතව සහ බුද්ධිමත්ව ගතයුතු බව තරයේ මම විශ්වාස කරමි. මේ ලිපිය පුරවැසි ඔබට යොමු කරන්නේද එවැනි නිවැරදි තීරණයකට එළැඹීම සඳහා මඟ පෙන්වීමේ අරමුණනි. 

සැමට සාධාරණත්වය සහ සමානාත්මතාව හිමිවන සුපිළිපන්න රටක් සහ අපේ දරුවන්ට සාඩම්බර අනාගතයක් උදා කරන ආණ්ඩුවක් රට පාලනය කරනු දැකීම මගේ මූලික අපේක්ෂාවයි. එම අපේක්ෂාව ඉටු කරගැනීම උදෙසා අවිවාදිතව පෙනී සිටින මට ජාති, පක්ෂ, පාට හෝ කණ්ඩායම්වාදය වැදගත් වන්නේ නැත. සැම විටම මට වැදගත් වන්නේ රටයි. පක්ෂ දේශපාලනයෙන් බැහැරව රට මුල්තැන ගන්නා නිර්පාක්ෂික ජාතික දේශපාලනයක නිරත වීම මගේ දේශපාලන ප‍්‍රතිපත්තියයි. රටේ සම්පත් ආරක්ෂා කිරීම, හොරකම් නොකිරීම, වංචාව දූෂණය පිටුදැකීම එහි මූලික පදනම වේ. දිස්ත‍්‍රික්ක තුනකින් පක්ෂ තුනකින් අවස්ථා හතරකදී මහමැතිවරණයට ඉදිරිපත්වී පාර්ලිමේන්තුවට පිවිසීමේ වරම වසර 15ක් අඛණ්ඩව මට හිමි වූයේද එම ප‍්‍රතිපත්තියේ පිහිටීම නිසා බව මම තරයේ විශ්වාස කරමි. ජීවිත අවධානමද නොතකා 2015 ජනවාරි 08 වැනිදා වත්මන් යහපාලන රජය නැතහොත් ජාතික ආණ්ඩුව පිහිටුවීම සඳහා පෙරමුණ ගත් අය අතර මාද පෙරමුණේ සිට ගත්තේ එම දේශපාලන ප‍්‍රතිපත්තිය දිනවීමේ අරමුණනි. 2015 ජනවාරි 8වැනිදා පිහිට වූ යහපාලන රජය මේ රටේ හැරවුම් ලක්ෂ්‍යයකි. රටේ ප‍්‍රධානතම දේශපාලන පක්ෂ දෙක වූ ශ‍්‍රී  ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත්, සෙසු දේශපාලන පක්ෂත්, උතුරේ මෙන්ම දකුණේ දේශපාලන පක්ෂත්, සිවිල් සංවිධානත්, පුරවැසි ඔබත් එකට එක්ව අලූත් රටක් දැන් බිහිකරමින් සිටින්නෙමු. ඒ අලුත් රටේ යහපත් ප‍්‍රතිඵලද අද අපි භුක්ති විඳිමින් සිටින්නෙමු.

පළාත් පාලන මැතිවරණය යනු ආණ්ඩු පෙරළන මැතිවරණයක් නොවේ. එය ගමේ සංවර්ධනයට ගමේ ඔබ සහභාගි කරගන්නා දේශපාලන ක‍්‍රියාවලියකි. අනාගත දේශපාලන නායකයින් බිහි කරන දේශපාලන පෙරළියකි. ජාතික දේශපාලනය ශක්තිමත් කිරීමට පුරවැසි ඔබව සහභාගි කරගන්නා දේශපාලන සංස්කෘතියකි. එම සමස්ත ක‍්‍රියාවලියම සාර්ථක වීමට නම් ජාතික දේශපාලනයට අප හඳුන්වා දුන් ජාතික ආණ්ඩු සංකල්පය නැතහොත් යහපාලනය සහ සුපිළිපන්න ආණ්ඩු සංකල්පය ගමේ පුංචි ආණ්ඩුවට හඳුන්වා දිය  යුතු බව මගේ  විශ්වාසයයි. එය අපේ රටට යහපත් අනාගතයක් උදාකර ලීමට අපට ඇති තවත් අනඟි මාවතක් වේ. එබැවින් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඔබ වෙනුවෙන් පත් වන දේශපාලන නියෝජිතයා ගමේ සම්පත් ආරක්ෂා කරන, ගමේ සම්පත් කළමනාකරණ කළ හැකි, හොරකම වංචාව දූෂණය පිටුදකින පුද්ගලයකුදැයි විමසීම වැදත්ම කරුණකි. දේශපාලන පක්ෂය කුමක් වුවත්, වංචාසහගත දූෂිත පුද්ගලයින් එකහෙළාම ප‍්‍රතික්ෂේප කර, සියලුදෙනාගේම කැපවීමෙන් ගොඩනඟාගත් වත්මන් යහපාලන රජය නැතහොත් ජාතික ආණ්ඩුව ආරක්ෂා කර ගත හැකි යහපත් මිනිසුන්ට පමණක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී පක්ෂ භේදයෙන් තොරව ඔබේ වටිනා ඡන්දය   භාවිත කරන්නැයි රට වෙනුවෙන් මම ඔබගෙන් ඉල්ලා සිටිමි....” 

  • Views 11