Post Thumb

ජාති, ආගම්, පක්ෂ, පාට බේදයකින් තොරව මේ රටේ සියලු ජනතාවගේ නායකයා ලෙස ඔවුන් සියලුදෙනාගේ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටීමට තමන් කැපවී සිටින බව ඊයේ(05) පස්වරුවේ පොතුවිල් ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ජනාධිපතිතුමා පවසයි.

පශ්චාත් යුද සමයේ ඉටු නොවූ කාර්යයක් වන රට තුළ ජාතික සමගිය සහ සංහිඳියාව ගොඩනැගීමේ වැඩපිළිවෙළ වෙනුවෙන් ඉකුත් වසර 03 තුළ තමන් සුවිශේෂී වැඩකොටසක් ඉටුකළ බව ද ජනාධිපතිවරයා මෙහිදී පොතුවිල් ජනතාව අමතමින් ප‍්‍රකාශ කළේය. එසේම ප‍්‍රදේශයේ ජනතාව කෘෂිකර්මාන්ත කටයුතුවලදී මුහුණදී සිටින ප‍්‍රධාන ගැටලුවක් වන ජල ගැටලුව විසඳීම සඳහා හැඩඔය ජල ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය

පොතුවිල් ප‍්‍රදේශය සංචාරක පුරවරයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ඉදිරියේදී කි‍්‍රයාවට නංවන බව පැවසූ ජනාධිපතිවරයා වැඩි සංචාරකයින් පිරිසක් එම ප‍්‍රදේශයට ගෙන්වා ගනිමින් ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීම අපේක්ෂාව බව කියා සිටියේය.

ප‍්‍රදේශයේ තරුණ තරුණියන්ට දැඩි අඩුපාඩුවක්ව පවතින කී‍්‍රඩාංගණයක් ඉදිකිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන අතර, කලාප අධ්‍යාපන කාර්යාලයක් පිළිබඳ තිබෙන ගැටලුව විසඳීමට ද ඉදිරියේ අදාළ අංශ සමග සාකච්ඡා කරන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

මේ අතර නැගෙනහිර රැකියා නොමැති උපාධිධාරින්ගේ ගැටලුව විසඳීමට ද ඉතා කඩිනමින් පියවර ගන්නා බව පැවසූ එතුමා ඔවුන් කිසිසේත් ඇතැම් දේශපාලන විරුද්ධ වාදීන් කරන ප‍්‍රකාශ පසුපස යාමට අවශ්‍ය නොවන බව ද පැවසීය.

  • Views 5