Post Thumb
බංග්ලාදේශය සමඟ පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි 20 තරඟමාලාවේ නායකත්වය සඳහා දිනේෂ් චන්දිමාල් පත් කර ඇත. 
 
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ පත්වීමෙන් පසු ඔහු පුහුණුකාරීත්වය දරණු ලබන පළමු විස්සයි 20 තරඟාවලිය මෙය වන අතර යොවුන් ක්‍රීඩකයින් පිළිබඳ වැඩි විශ්වාසයක් ඔහු විසින් තබා ඇති බව කණ්ඩායම දෙස බැලීමේ දී පෙනී යයි.
 
කණ්ඩායමේ වේගපන්දු බලඇණිය සඳහා අසිත ප්‍රනාන්දු හා ෂෙහාන් මදුසංඛ කැඳවා ඇති අතර ඔවුන් මේ දක්වා එකදු හෝ ජාත්‍යන්තර විස්සයි 20 තරඟයකට ක්‍රීඩා කර නොමැති වීම විශේෂත්වයකි. 
 
මීට අමතරව වමත් වේගපන්දු යනව ක්‍රීඩක ඉසුරු උදාන ද කණ්ඩායමට කැඳවා ඇත.
 
මේ අතර මෙම සංචිතය සඳහා පාදඟ පන්දු යවන්නන් තිදෙනෙකුම කැඳවා තිබීම තවත් කැපී පෙනෙන කරුණක් වන අතර 35 වියැති දකුණත් පාදඟ පන්දු යවන තුන්ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් නැවත වරක් ශ්‍රී  ලංකා පිලට කැඳවීම් ලැබ ඇති අතර ජෙෆ්රි වැන්ඩසේ හා අමිල අපෝන්සු කණ්ඩායමට අලුතින් කැඳවා ඇති සෙසු දඟ පන්දු යවන්නන් වේ.
 
ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨ වේගපන්දු යවන්නන් වන ලසිත් මාලිංග, සුරංග ලක්මාල් මෙන්ම දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයන් මෙම සංචිතයෙන් ඉවත්කර තිබීම තවත් විශේෂ කරුණක් වේ.
  • Views 3