Post Thumb

ප‍්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වේ.


අද(08) පෙරවරුවේ හදිසි රෝගාතුර තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ පසු ඔහු මෙසේ මිය ගිය බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ මහතාගේ දේහය මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර 1947 මැයි 6 දින උපත ලැබූ ඒ මහතා මිය යන විට 69 වන වියේ පසු වුණි.

මනමේ, සිංහබාහු, මහාසාර, කපුවා කපෝති, රත්නාවලී, නරිබෑණා, ආනන්ද ජවනිකා, ඇතුළු ප්‍රධාන වේදිකා නාට්‍ය 15 ක පමණ ඒ මහතා රංගනයෙන් දායක වී තිබේ.

එමෙන්ම  සුබ සහ යස, තාරාවෝ ඉගිලෙති, රන්කඳ, වහලක් නැති ගෙයක්, කෝන්තරේ, සැරදේ සීතා, කකුල් හතරේ ඉලංදාරියා, ඒකාධිපති වැනි  ප්‍රවීණ නාට්‍යවේදීන් අධ්‍යක්ෂණය කළ නාට්‍යවල මෙන්ම වත්මන් නාට්‍යකරුවන්ගේ නාට්‍ය බොහොමයකටද ඔහු රංගනයෙන් දායක වී ඇත.

රංගන ශිල්පියෙකු වශයෙන් පමණක් නොව නිවේදකයකු හා ගායකයකු ලෙස ද ඔහු  කටයුතු කළේය.

මහරගම විද්‍යාකර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ නන්දසිරි මහතා නෝනාවරුනි මහත්වරුනි, යර්ස් බොස්, එතුමා, සිකුරු හතේ, සුහද කොකා වැනි විකට ටෙලි නාට්‍ය හා චිත්‍රපට ඔස්සේ ප්‍රහසන රංගන ශිල්පියකු ලෙස ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.

1966 වසරේදී විදුර දිය වේදිකා නාට්‍යයෙන් ක්ෂේත්‍රයට පිවිසි ඔහු වෘෂභ රාජ, සුබ සහ යස, කුස පබාවතී ආදී වේදිකා නාට්‍ය 40කට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය සපයා ඇත.

  • Views 39