Post Thumb

සැකකරුවන් ලෙස රිමාන්ඩ් භාරයට පත්වීමෙන් පසු වරප්‍රසාද ලත් එක් පිරිසකට පමණක් සිර ගෙදරින් රජයේ රෝහලක ගෙවන වාට්ටුවක් වෙන්වීම කොතෙක් දුරට  සාධාරණ දැයි පොදු ජනතාව තමාගෙන් ප්‍රශ්න කරන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (12) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති 2016 ආසියා නීති සමුළුවේ සමාරම්භක උත්සවය අමතමිනි.

ආසියා ශාන්තිකර නීති සමුළුව පිහිටුවා වසර 50 ක් පිරෙන ස්වර්ණ ජයන්ති උත්සවය ශී‍්‍ර ලංකාවේදී පැවැත්වෙන අතර ඒ හා සමගාමීව පැවැත්වෙන නීති සමුළුව අගෝස්තු 13, 14, 15 දිනයන්හි කොළඹදී පැවැත්වෙයි.

මෙම සමාරම්භක උත්සවය ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක විය යුතු බවත්, රටේ නීතිය ස්වාධීනව හා  අපක්ෂපාතීව කි‍්‍රයාත්මක වීම ජනතාව අපේක්ෂා කරන බවත්ය.

රටක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව එම රටේ නීතිය ශක්තිමත් කිරීමේ ප‍්‍රබල සාධකය බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කිරීමේදී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන අංශ තුනම සිය වගකීම්ව සහ යුතුකම් මැනවින් ඉටු කළ  යුතු බවද කියා සිටියේය.

නීතියේ විසඳුම් ප්‍රමාදයකින් තොරව පොදු ජනතාවට ලබා දීම සඳහා අවශ්‍ය වැඩ පිළිවෙළ  මේ වන විට සකස් කරමින් පවතින බව පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බවද කියා සිටියේය. 

සකස් වෙමින් පවතින නව ආණ්ඩුුක‍්‍රම ව්‍යවස්ථාව රටේ නීතිය සුරකින මානව සමාජය පෝෂණය කරන හා සුරක්ෂිත කරන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් බවද ජනාධිපතිතුමා කියා සිටියේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, ජෝන් අමරතුංග, චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික‍්‍රමරත්න යන මහත්වරුන් ද අගවිනිසුරු ඇතුළු දෙස් විදෙස් නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයින් ද නීති සමුළුවේ සම සභාපති උපුල් ජයසූරිය මහතා ඇතුළු එහි සාමාජිකයින්ද එක්ව සිටියහ.

ආසියා ශාන්තිකර නීති සමුළුව පිහිටුවා වසර 50ක් පිරෙන ‘ස්වර්ණ ජයන්තිය’ පැවැත්වීමට ශ්‍රී ලංකාව තෝරා ගෙන ඇති බව නොබෝදා ශ්‍රී ලංකා නීතිඥ සංගමය පැවැත්වූ මාධ්‍ය හමුවකදී ප්‍රකාශයට පත් විණි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම්, හිටපු සභාපති උපුල් ජයසූරිය, ලේකම් අමල් ඒ. රන්දෙණිය සහ එහි විධායක මණ්ඩල සාමාජිකයන් සහභාගි වූ මෙම මාධ්‍ය හමුවේදී පැවැසුණේ එහි සමාරම්භක උත්සවය අගෝස්තු 12 වැනි දින ජනාධිපති සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි.

අගෝස්තු 12 වැනි දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සවස 4.30ට සමාරම්භක උත්සවය පැවැත්වීමෙන් පසු අගෝස්තු 13, 14 සහ 15 යන දිනයන්හි සිනමන් ග්‍රෑන්ඩ්  හෝටලයේදී සමුළුවේ ඉතිරි වැඩ කටයුතු සිදු කෙරේ.

අගෝස්තු 13 වැනි දින හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ ආසියා ශාන්තිකර නීති සමුළුවේ සභාපති සුසාන්ත් කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් උදේ 9ට ඇරැඹේ.

මෙහිදී සාකච්ඡාවට බඳුන් වන්නේ ප්‍රතිසන්ධානය පිළිබඳවයි. ජනාධිපති, අගමැති, අගවිනිසුරු, ආසියා ශාන්තිකර නීති සමුළුවේ නීතිඥ සංගමයේ සභාපති, හිටපු සභාපති උපුල් ජයසූරිය, කැඳවුම්කරු රජිව් අමරසූරිය මහත්වරුන් සමාරම්භක උත්සවය ඇමැතීමට නියමිතය.

නීති සමුළුවේ සම සභාපති උපුල් ජයසූරිය මහතා මෙම මාධ්‍ය හමුවේදී පැවැසුවේ නීති සමුළුව මීට පෙර මෙරට පැවැත්වීමට විදේශ රටවල් එකඟ නොවූ බවද නව රජය යටතේ පැවැත්වීමට එකඟ වූ බවයි.

  • Views 137