Post Thumb

ශ්‍රී ලංකාවේ ඓතිහාසික ශ්‍රී විභූතිය මැනවින් පිළිබිඹු කරන ස්ථානයක් ලෙස සැලකෙන රංගිරි දඹුලු විහාරය එක්සත් ජාතීන්ගේ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් ‍මේවන විට මතුව තිබේ.

මෙම අවදානම මතුව ඇත්තේ එම විහාරස්ථානයේ පෞරාණික බවට හානිවන ආකාරයෙන් මෑතක සිට සිදුකෙරෙන අලුත්වැඩියා කටයුතු බව එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (යුනේස්කෝ -UNESCO) පවසයි.

ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්ථාන නැරඹීම සඳහා ඉකුත්දා මෙරටට පැමිණි යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉරිනා බොකෝවා මහත්මිය සිය සිව්දින සංචාරය නිමාකරමින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඇය මේ පිළිබඳව කනස්සල්ල පළ කළාය.

එහිදී ඇය කියා සිටියේ රංගිරි දඹුලු විහාරයේ නඩත්තු කටයුතු ඉතා දුර්වල මට්ටමක පැවැතීමත් භික්ෂූන් වහන්සේ විසින් සිදුකරන අලුත්වැඩියාත් නිසා එහි ඓතිහාසික බවට හානි සිදුව ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග එළඹ ඇති එකඟතාවලට අනූව බුදුපිළිම 157ක් හා අවුරුදු 2000ක් පැරණි බිතු සිතුවම් රැසක් ඇති රංගිරි දඹුලු විහාරය නැමැති මෙම ඓතිහාසික පුදබිමේ පෞරාණිකත්වය රැක ගැනීමට ශ්‍රී ලංකා රජය බැඳියි සිටියි.

ලෝක උරුමයක් ලෙස නම්කර ඇති රංගිරි විහාරයේ සිදුකෙරෙන අලුත්වැඩියා කටයුතු සම්බන්ධයෙන් පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි විශේෂඥයින් කණ්ඩායමක් විසින් අනතුරු ඇඟවීමක් ද සිදුකර තිබිණ.

එහිදී ඔවුන් පෙන්වාදී ඇත්තේ එහි සිදුකෙරෙන ඉදිකිරීම් නිසා රංගිරි විහාරයේ ලෝක උරුම වටිනාකම්වලට හානියක් සිදුවන බව යැයි ඉරිනා බොකෝවා මහත්මිය එම මාධ්‍ය හමුවේදී කරුණු අනාවරණය කළාය.

එම ඉදිකිරීම් සම්බන්ධයෙන් රජය මැදිහත්වූ අවස්ථාවේදී භික්ෂූන් වහන්සේ ඊට එරෙහිවී ඇති නමුත් රජයක් ලෙස ශ්‍රී ලංකාවට ඒ ගැන පියවරක් ගැනීමේ වගකීමක් ඇතැයිද කියා සිටියාය.

"ලෝක උරුම කමිටුව යම්කිසිවක ආරක්ෂාව ගැන  වාර්තා කළ විට එය රැක ගැනීම තමයි රජයේ වගකීම" යැයි ඇය එහිදී පැවසුවාය.

මෙම රංගිරි විහාරය ශ්‍රී ලංකාවේ ලෝක උරුම 8න් එකක් බවද පැවසූ ඇය තමන් එම ස්ථාන තුනක සංචාරය කළ බවද කියා සිටියාය.

මේ අනූව රංගිරි විහාරයේ ඓතිහාසික බවට හානි පමුණුවමින් එහි භික්ෂූන් වහන්සේ විසින් මෑතකදී එක් කළ නව ඉදිකිරීම් ශ්‍රී ලංකා රජය වහා ඉවත් කළ යුතු බවත්, එසේ නොවන්නේ නම් එය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට හේතුවක් වනු ඇති බවත්, යුනෙස්කෝ සංවිධානය අනතුරු අඟවා තිබේ.

යුනෙස්කෝ සංවිධානය විසින් ලොව පූරා පිහිටි ඓතිහාසික ස්ථාන රැසක් ලෝක උරුම ‍ලෙස නම්කර ඇති අතර එම ලැයිස්තුවෙන් පළමුව ඉවත් කර ඇත්තේ ඕමානයේ පිහිටි අරාබියානු ඔරික්ස් නැමැති සත්ව විශේෂය ජීවත්වන වනභූමීයයි.

එම වනභූමි රක්ෂිතය සියයට 90කින් අඩු කිරීමට එරට රජය ගනු ලැබූ තීරණය මත 2007 වසරේදී අදාළ වනභූමිය ලෝක උරුම ලැයිස්තුවෙන්  ඉවත් කර ඇත.

ඉන් අනතුරුව ඉවත්කර ඇති ලෝක උරුම ස්ථානයක් ලෙස සැලකෙන්නේ ජර්මනියේ ඩ්‍රෙස්ඩන් ඇල්බේ නිම්නයයි.

එම නිම්නය මතින් මංතීරු 4ක පාළමක් ඉදිකිරීම නිසා එහි ලෝක උරුම වටිනාකමට සිදුවූ හානිය සැලකිල්ලට ගෙන එයද එම ලැයිස්තුවෙන් ඉවත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රංගිරි දඹුලු විහාරය යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ 1991 වසරේදීය.

දිනපතා දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසකගේ නෙත සිත පිනවන, පැරණි රජ දවස ලාංකික කලාකරුවන්ගේ පෞඩත්වය මැනවින් පිළිබිඹු කරන, මෙම ඓතිහාසික පුදබිම රැක ගැනීම අනාගත පරපුර වෙනුවෙන් කළ හැකි මහඟු මෙහෙවරක් ලෙස ද සැලකිය හැකිය.

  • Views 135