Post Thumb

වසර සිය ගණනකට පසුව පූර්ණ ප‍්‍රතිසංස්කරණයකට පත්වු නවගමුව පුරාණ පත්තිනි දේවාලය වෙත ඉන්දියාවේ සිට වැඩම කරවූ ජීවමාන ප‍්‍රමාණයෙන් යුත් පත්තිනි මෑණි කිරිගරුඩ පිළිරුව මහජන වන්දනාමන කටයුතු සඳහා නිරාවරණය කිරීම අද (19) පෙරවරුවේ ජනාධිපති ගරු මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

නවගමුව ශී‍්‍ර සුගත බිම්බාරාම රජ මහා විහාරාධිපති පූජ්‍ය මල්වානේ පඤ්ඤාසාර අනුනායක හිමිපාණන් වහන්සේගේ ආරාධනාව පරිදි අද පෙරවරුවේ නවගමුව ශී‍්‍ර සුගත බිම්බාරාම විහාරස්ථාන වෙත ගිය ජනාධිපතිතුමා ආගමික වතාවත්වල නිරතව ත‍්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලබා ගත්තේය.

විහාරාධිපති හිමිපාණන් වහන්සේ ද බැහැදැක සුව දුක් විමසා පිරිකර පූජාකළ ජනාධිපතිතුමා අනතුරුව පත්තිනි දේව මෑණි ප‍්‍රතිමාව විවෘත කිරීමේ අවස්ථාවට එක් විය.

නිරාවරණය කෙරුණු පත්තිනි දේව ප‍්‍රතිමාව වෙත පළමු පූජෝපහාරය දැක්වු ජනාධිපතිතුමා ආශිර්වාද ලබා ගත්තේය.

කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණි සාමග‍්‍රි ධම්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ද, අමාත්‍යවරුන් වන සුසිල් පේ‍්‍රමජයන්ත, ලක්ෂ්මන් කිරිඇල්ල, ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද නවගමුව ඓතිහාසික පුරාණ පත්තිනි දේවාලයේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා ධන පරිත්‍යාග සිදු කළ ව්‍යාපාරික නන්දන ලොකුවිතාන, ධම්මික ලොකුවිතාන යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

  • Views 79