Post Thumb

ආර්ථික සංවර්ධනය ශක්තිමත් කිරීම තුළින් තිරසාර සාමයක් හා ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ගොඩනඟාගත හැකි බව ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිතුමා මේ බව සඳහන් කරනු ලැබුවේ ශ‍්‍රී ලංකාවට පැමිණි ජර්මානු ආර්ථික කටයුතු හා බලශක්ති පාර්ලිමේන්තු රාජ්‍ය ලේකම්, ජර්මානු ව්‍යාපාරික නියෝජිත පිරිසේ ප‍්‍රධානී ඌව බෙක්මෙයර් (Uwe Beckmeyer) මහතා අද (16) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී හමුවූ අවස්ථාවේදීය.

ජනාධිපතිතුමා මෑතකදී සිදුකළ ජර්මානු සංචාරයේ ප‍්‍රථිපලයක් ලෙසින් ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් මහත්මියගේ උපදෙස් මත ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා පිළිබඳ සොයාබැලීමට මෙම ජර්මානු ව්‍යාපාරික නියෝජිත පිරිස මෙරටට පැමිණ තිබේ.

ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම තුළින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සංහිඳියාව ශක්තිමත් කරලීමට ශ‍්‍රී ලංකාව මේ වනවිට ගෙන ඇති පියවර පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී ජර්මන් නියෝජිත පිරිසට පැහැදිලි කළේය.

එමෙන්ම ජර්මනිය මගින් ශ‍්‍රී ලංකාවට ලබාදෙන වෘත්තීය පුහුණු සහය මෙන්ම සෘජු රැකියා නිර්මාණය කිරීමේදී ලබාදෙන දායකත්වය පිළිබඳව ජනාධිපතිතුමා මෙහිදි සිය ස්තුතිය පිරිනැමීය.

දෙරට අතර පවතින ව්‍යාපාරික සබඳතාවන්හි ප‍්‍රගති සමාලෝචනය පිළිබඳ වාර්තාවක් මාස 3ක ට වරක් හෝ ලබාදෙන ලෙස බෙක්මෙයර් මහතාගෙන් ඉල්ලීමක් කළ ජනාධිපතිතුමා එමගින් දෙරට අතර පවතින ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් වන බවද පෙන්වා දුන්නේය.

ශ‍්‍රී ලංකාව ඉතා කෙටි කාලයක් තුළදී ලබා ඇති සංවර්ධනය පිළිබඳව අගය කළ ඌව බෙක්මෙයර් මහතා දෙරට අතර පවතින ව්‍යාපාරික සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමට ජර්මන් රජය කැපවෙන බවද පැවසීය.

 

  • Views 57