(2nd Lead)

අරණායකට ගුවන් මෙහෙයුමක්.

අරණායක සහ බුලත්කොහුපිටිය ප්‍රදේශ වල සිදුවූ නායයාමෙන් විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් වලට සහය දැක්වීම සඳහා ගුවන් හමුදාව එක් වී තිබේ.


ගුවන් හමුදාව  වාර්තාකරනුයේ අද උදෑසන 6.00ට පමණ බෙල් 212  හෙලිකොප්ටර් යානයක් නායයාම සිදුවු ප්‍රදේශ නිරීක්ෂණය කිරීම සඳහා පිටත් කර ඇති බවයි.

අදාළ ප්‍රදේශ නිරීක්ෂණය කර ගුවන්  තොරතුරු ලබාගැනීමෙන් පසු නැවත රත්මලාන ගුවන්තොටුපළ වෙත එම හෙලිකොප්ටර් යානය පැමිණ තිබේ.

අදාළ තොරතුරු අනුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරීන්ගේ මගපෙන්වීම යටතේ ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව ගුවන් හමුදාව තවදුරටත් පවසයි.

ඒ අනුව මුදාගැනීමේ කණ්ඩායම් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරීන් පිරිසක් සමඟ එම්.අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අරනායක ප්‍රදේශයට පිටත් කර හැරීමට පියවර ගෙන තිබේ.

මේ අතර ගම්පහ දොම්පේ ප්‍රදේශයේ ගංවතුරෙන් අවතැන් වූ පිරිස් වෙත ආහාර බෙදාදීමේ කටයුතු ගුවන් හමුදාවේ මැදිහත්වීමෙන් සිදුකරන බව ද අනාවරණය වේ. 

 

දිවයිනේ ගම්මාන  රැසක් එකවර නාය යයි.

 

ඊයේ පස්වරුවේ සිරිපුර, එලඟපිටිය සහ පල්ලේබාගේ යන ගම්මාන තුන නාය යෑමට ලක්වී තිබේ. 

බුලත්කොහුපිටිය ප‍්‍රදේශයේ ද වතු නිවාස 6 ක් නාය යාමෙන් පුද්ගලයන් 16 දෙනෙකු ද අතුරුදන් වී ඇතැයි වාර්තා වේ. 

මේ අතර අරණායක, එළගපිටිය සාමසර කන්ද ඊයේ (18) පස්වරුවේ නාය යෑම හේතුවෙන් පවුල් 200 කට වැඩි ප‍්‍රමාණයක් කඳවුරු  3 ක රඳවා තිබේ. මෙම ජනතාවට සහන සැලසීම සඳහා යුද හමුදා සාමාජිකයින් 180 ක් සහ කමාන්ඩෝ භටයින් 43 දෙනෙකු යොදවා ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර්  ජයනාත් ජයවීර මහතා පවසයි.

මෙම කන්ද නායයාම සිදුවන අවස්ථාවේ ඒ අවට ගම්මානවල සැලකිය යුතු පිරිසක් එහි සිටි බවත් කන්ද නායයාමේදී කඳු කොටස දෙපසට වෙන් වී ගොස් ඇති බවත් වාර්තා වේ. මේ වනවිට එහි එක් කොටසක සිටි පුද්ගලයින් 12 දෙනෙකු කමාන්ඩෝ භටයින් විසින් සොයාගෙන ඇත.

පොලීසිය සහ අරණායක ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසා ඇත්තේ නායයාම හේතුවෙන්  සිදුවූ ජිවිත හානි පිළිබඳ මෙතෙක් නිශ්චිතව ප‍්‍රකාශයක් සිදුකළ නොහැකි බවයි.

මේ අතර කළුගගේ ජල මට්ටම වැඩිවෙමින් පවතින හෙයින් රත්නපුර ප‍්‍රදේශයේ ද ජනතාව ඉවත් කිරීමට කටයුතු කර ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි. 

(වීඩියෝ - හිරු නිව්ස්, අද දෙරණ)

 

  • Views 67