මාතෘ භූමියේ ගෞරවය රැක ගනිමින් යහපත් මානව සමාජයක් ගොඩනැඟීමට රජය ආරම්භ කළ වැඩපිළිවෙළට අභිනව අස්ගිරි මහ නායක හිමිපාණන් වහන්සේගේ පදවි ප‍්‍රාප්තිය මහඟු ආශිර්වාදයක් බව ජනාධිපතිතුමා පැවසීය.

ශ්‍යාමෝපාලි වංශික මහ නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ අභිනව මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ‍්‍රී ඥානරතන නා හිමිපාණන් වහන්සේ සහ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ශී‍්‍ර ධම්මදස්සි ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමට ශී‍්‍ර සන්නස් පත‍්‍ර පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (17) පස්වරුවේ ශී‍්‍ර දළදා මාලිගා පරිශ‍්‍රයේ ඓතිහාසික මඟුල් මඩුවේදී පැවැත්වුනු අතර එම අවස්ථාවේදී ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

පෞරාණික චාරිත‍්‍රවලට ගරු කරමින් මහා විහාර සම්ප‍්‍රදායන්ට අනුකූලව ශී‍්‍ර සන්නස් පත‍්‍ර පිළිගැන්වීමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වුණු අතර අභිනව අස්ගිරි මහ නායක හිමිපාණන් වහන්සේ වෙත සහ අනුනායක ස්වාමින් වහන්සේ වෙත ශී‍්‍ර සන්නස් පත‍්‍ර පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ වාණිජ ලෝකය සමග පරිහානියට පත්ව ඇති සමාජය සුවපත් කිරීම සඳහා එකම විසඳුම වන්නේ ථෙරවාදී බුදුදහම සහ බෞද්ධ දර්ශනය වඩා සමීප කර ගැනීම බවයි.

වසර 700 කට එහා ඉතිහාසයේ පටන් වර්තමානය දක්වා ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් මහා සංඝරත්නයේ මෙහෙවර අපේ හදවත්වලට පමණක් නොව බෞද්ධ ලෝකයටම සමීපව දැනෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ද, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ මැති ඇමතිවරු ද, දියවඩන නිලමේතුමා ඇතුළු නිලමේවරුන් සහ සැදැහැවත් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපතිතුමා ඉන් අනතුරුව ඓතිහාසික දළදා මාළිගාව වෙත ගොස් ශී‍්‍ර දළදා සමිඳුන් ද වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය.

  • Views 53