Post Thumb

ජපානයේ පැවැත්වීමට නියමිත ජී 07 හෙවත් ප්‍රධාන කාර්මික රටවල් 07 හි කණ්ඩායමේ රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැයි මස 25 වන දින  දිවයිනෙන් පිටත්ව යන බව වාර්තා වේ.‍


ජී 07 සමුළුවේ වත්මන් සභාපති ජපාන අග්‍රාමාත්‍ය ෂින් සෝ අබේ මහතාගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සමුළුවට සහභාගී වන අතර ශ්‍රී ලාංකේය නායකයෙකුට මෙම සමුළුව සඳහා සභාගීවීමට ලැබුණු ප්‍රථම නිල ආරාධනාව ද මෙයයි.


සමුළුව මෙම මස 26 සහ 27 යන දෙදින තුළ ජපානයේ ෂි සානි නගරයේදී පැවැත්වේ.

සාමයට සහ සෞභාග්‍යට හොඳම මාර්ගය පෙන්වා දෙමින් නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය හා මානව අයිතිවාසිකම්වල මූලික අගයන් බෙදාගැනීමේ අරමුණින් මෙවර ජී 07 සමුළුව පැවැත්වෙයි.

සාම්ප්‍රදායික න්‍යායපත්‍රයට අමතරව ගෝලීය ආර්ථිකය, විදේශ ප්‍රතිපත්ති, ජාතික ආරක්ෂාව, ගෝලීය සෞඛ්‍ය, කාන්තා සවිබල ගැන්වීම යනාදී කරුණු කෙරෙහි මෙවර සමුළුවේදී ආවධානය යොමු කෙරෙන බව අනාවරණය වේ.

1970 දශකයේදී ලෝක තෙල් අර්බුදයේ දැඩි පීඩනයන් මත ජී 07සමුළුව පිහිටුවාගෙන තිබේ. 1997දී රුසියාව එක්ව ජි 08 සමුළුව බිහිවුවද 2014 වසරේදී එහි සාමාජිකත්වය අත්හිටවනු ලැබූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව යළිත් එය ජි 07 බවට පත් වූ අතර වර්තමානයේ අමෙරිකාව, ප්‍රංශය, ජර්මනිය, බ්‍රිතාන්‍ය, කැනඩාව, ඉතාලිය සහ ජපානය මෙහි සාමාජිකත්වය දරයි.

 

  • Views 129