අමතකව ගිය අපේකම ගොඩ නැඟීමට හොදම කාලය වෙසක් සමය බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි.

එතුමා මේ බව කියා සිටියේ වරාය බෞද්ධ සංගමය සංවිධානය කරන කොළොම්තොට වෙසක් කලාපය විවෘත කරමිනි. 

එහිදී අදහස් දැක්වමින් අර්ජුන රණතුංග මැතිතුමා වැඩිදුරටත් පැවසූයේ, අමතකව ගිය අපේ සංස්කෘතිය දරුවන්ට යළි මතක් කර දීම කාලීන වශයෙන් වැදගත් වූවක් වන බවයි.

එසේම ආපදාවට පත් ජනතාව වෙනුවෙන් සහන සලසමින් ඔවුන්ගේ මානසිකත්වය යළි ගොඩනැඟීම වැදගත් බවද එතුමා එහිදී අවධාරණය කළේය.

වරාය බෞද්ධ සංගමයේ සභාපති කොටුව ශ්‍රී බෝධිරාජ විහාරාධිපති කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක ගරු නිකුල පඥ්ඥාසාර නායක ස්වාමීන්වහන්සේ, ශ්‍රී ලංකා වරාය අධිකාරයේ සභාපති ධම්මික රණතුංග මහතා, වරාය බෞද්ධ සංගමයේ ලේකම් උපාලි සොයිසා මහතා ඇතුළු බෞද්ධ සංගමයේ නිලධාරීන්,  වරාය සහ නාවික අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය, ගරු අමාත්‍යතුමාගේ කාර්ය මණ්ඩලය, CICT සමාගමේ  නිළධාරීන් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක මහත්ම මහත්මීන් රැසක් එම අවස්ථාවට සහභාගී වූහ.

ගාලුමුවදොර, චෛත්‍ය පාර ආරම්භයේ සිට වරාය චෛත්‍ය දක්වා වූ කලාපයෙහි පිහිටුවන මෙම වෙසක් කලාපයට තොරණ, පහන් කූඩු, දන්සැල්, භක්ති ගීත සංදර්ශන, මුද්‍රා නාටක සහ තවත් අංග රැසක් ඇතුළත් වේ.

එහි ගීත නාටකය ඉදිරිපත් කරනුයේ කුරුණෑගල වයඹ විමුක්ති කලා කේන්ද්‍රයයි.

වෙසක් තොරණින් කාමණීය ජාතකය නිරූපණය කෙරේ.

25 වැනිදා දක්වා පැවැත්වෙන කොළොම්තොට වෙසක් කලාපය අද විවෘත කරනුයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මැතිතුමාගේ සුරතිනි. 

  • Views 161